2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

සුපිරි රංගන හේරත්ට අභිමානවත් සමුදීමකට ගාල්ල සූදානම්

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 103

“රංගන අයියා තව වසර පහක් හෝ ක‍්‍රීඩා කරනවා නම් මම කැමතියි. ඒත් ඔහුගේ තීරණය වෙලා තියෙන්නේ ගාල්ලේදී සමුගන්නයි” යැයි ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් පසුගියදා පැවසීය. 

වමතින් දඟපන්දු යවන රංගන හේරත් ටෙස්ට් කණ්ඩායමට කොතරම් වටින්නේද යන්න චන්දිමාල්ගේ එම ප‍්‍රකාශයෙන් තහවුරුවේ. කෙසේ වෙතත් ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ලබන අඟහරුවාදා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය රංගනගේ සේවය ශ්‍රී ලංකාවට ලැබෙන අවසන් අන්තර්ජාතික තරගය බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව පසුගිය වසර පහක පමණක කාලයක් තුළ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේදී ලැබූ ටෙස්ට් ජයග‍්‍රහණවල වැඩි ගෞරවය රංගනට හිමිවේ. රංගනට අමතක නොවන සමුගැනීමක් ලබාදීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය සතිය වනවිට සැලසුම් කරමින් සිටියේය.  

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය රංගන හේරත් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීම වෙනුවෙන් තරගය අවසානයේ විශේෂ උත්සවයක් සංවිධානය කිරීමට සැලසුම්කර තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ මෙහිදී රංගන හේරත් විශ්මයට පත්කිරීමට සූදානමින් සිටින බවයි. රංගන අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගාල්ල තෝරාගැනීමට ද විශේෂ හේතුවක් තිබිය හැකිය. ඔහු ඒ පිළිබඳව මේ දක්වා කිසිදු හෙළිදරව්වක් කර නොමැත.

මෙම තරගාවලියේ තරග තුනම ක‍්‍රීඩා කිරීමට තේරීම් කමිටුව සහ නායක චන්දිමාල්, රංගන සමඟ සාකච්ඡා කළද එය අසාර්ථක වී තිබේ. මේ හේතුවෙන් එංගලන්තයට එරෙහිව මෙම ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයට අමතක නොවන තරගාවලියක් බවට පත්වනවාට සැක නැත. 

රංගන හේරත් මීට වසර 19 කට පෙර එනම් 1999 වසරේ සැප්තැම්බර් මස 22 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත්තේය. ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් ක‍්‍රීඩා කළ කාලය තුළ රංගනට අවස්ථාව ලැබුණේ දඟපන්දු යවන්නන් දෙදෙනකු ක‍්‍රීඩා කරන තරගයකදී සහ මුරලිදරන් ආබාධයකට ලක්වූ අවස්ථාවලදී පමණි. රංගන ටෙස්ට් වරම් ලබා වසර 11 කට ආසන්න කාලයක් වන තෙක් එනම් මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගත් 2010 වසරේ ජූලි මස 22 වැනිදා දක්වා ටෙස්ට් තරග 22 කට පමණක් ක‍්‍රීඩා කර කඩුලු 71 ක් පමණක් දවාගෙන සිටියේය.

මුරලිදරන් සමුගැනීමෙන් පසුව රංගන ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ පන්දු යැවීමේ බර සිය කර මත තබා ගත්තේය. එතැන් සිට මේ දක්වා වසර අටක කාලය තුළ ඔහු තවත් ටෙස්ට් තරග 70 කට සහභාගි වී තවත් කඩුලු 359 ක් දවා ගැනීමට සමත් විය. රංගන මේ වනවිට ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම වමත් දඟපන්දු යවන්නා බවට පත්ව ටෙස්ට් තරග 92 කදී කඩුලු 430 ක් දවා ගැනීමට සමත්ව සිටියි. රංගන මෙම කඩුලු 430 ත් සමගින් වසර සියයකට අධික ඉතිහාසයක් ඇති ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභීන් අතර 10 වැනි ස්ථානයට පත්ව සිටියි. රංගන මෙම තරගයේදී තවත් කඩුල්ලක් දවාගත හොත් 9 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබයි. ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ වැඩිම කඩුලුලාභීන් අතර සිටින එකම වමතින් දඟපන්දු යවන්නා රංගන හේරත් වීම කැපී පෙනේ. 

රංගන හේරත් නොමැතිව මෙම ටෙස්ට් තරගාවලියේ ඉදිරි තරග දෙකට මුහුණ දීම ශ්‍රී ලංකාවට අභියෝගයක් වනවාට සැක නැත. මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට වමතින් දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර ඇතුළත්ව සිටින අතර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි තරගයේ සිට මාලින්දට විශේෂ වගකීමක් පැවරෙනු ඇත. මුරලිදරන් සමුගැනීමෙන් පසුව පිට දඟපන්දු යවන්නකු ස්ථිර කරගැනීමට වසර පහකට අධික කාලයක් ගතවිය. ඩිල්රුවන් පෙරේරා කඩුලු 125 ක් දවා ගනිමින් මේ වනවිට එම හිඩැස යම්තරමකට පුරවා තිබේ.  

එංගලන්ත පිලේ ප‍්‍රබලතම වේගපන්දු යවන්නන් දෙපළ වන ජේම්ස් ඇන්ඩසන් සහ ස්ටුවට් බ්‍රෝඩ් ගාල්ලේදී ඇතැම්විට ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයක් වීමට ඉඩ තිබේ. අදීල් රෂිඩ් සහ මොයින් අලී යන දඟපන්දු යවන්නන් දෙපළ පිළිබඳව ද ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි අවධානය යොමු කිරීමට සිදුවේ. 

♦ සටහන: යොහාන් භාසුර

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00