2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

බැටිං වට්ටෝරුව තාමත් “ෆිට්” නෑ

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 189

එංගලන්තයට එරෙහිව දැන් පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අවසන් වනවිට ශ‍්‍රී ලංකාව වරද්දාගෙන සිටියේය. පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැති එම තරගයෙන් එංගලන්ත කඩුලු 7ක ජයක් ලබමින් 2x1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියේය. ඒ අනුව එංගලන්තයට ඉදිරි තරග දෙකක් එකක් ජය ලැබීම තරගාවලි ජයග‍්‍රහණයට ප‍්‍රමාණවත් වන අතර ශ්‍රී ලංකාව තරග දෙකම ජය ලැබුවහොත් තරගාවලිය සම වේ.

පල්ලෙකැලේ පළමු තරගයේදී ශ්‍රී ලංකාවට හොඳ ආරම්භයක් ලැබුණද මැද පෙළ අසාර්ථක විය. තරගයෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වෙමින් නිරෝෂන් දික්වැල්ල පැවසුවේ මෙම අඛණ්ඩ පරාජය තමන්ටද ප‍්‍රශ්නයක් බවයි. 

මෙම තරගයේදී ද ශ්‍රී ලංකා පිල පිතිකරු ලැයිස්තුව වෙනස් කිරීම කැපී පෙනුණි. ඕවර 50 ඉනිමක් තිබූ තරගයේ පළමු වරට අංක 5 ස්ථානයේ පන්දුවට පහර දුන් දසුන් ශානක  ඕවර 21ක් වූ පල්ලෙකැලේ තරගයේදී නැවතත් 7 වැනි තැනට දැමීය. ශ්‍රී ලංකාවට ලකුණු 175 කට යෑමට තිබූ අවස්ථාව අහිමිවීමට එය එක් හේතුවක් විය.

සංචිතයේ මුලසිටම රැඳී සිටි උපුල් තරංග ඉවත් කළ මෙම තරගයට කුසල් මෙන්ඩිස් නැවත කැඳවීමට තේරීම් කමිටුව කටයුතු කළේය. කුසල් ‘ගුග්ලි’ පන්දුව කඩුල්ලේ වැදුණු පසු එය දෙස බලා සිටින තත්ත්වයකට පත්ව සිටියි. ඔහු පන්දුවට පහර දුන් ආකාරයෙන් පෙනී ගියේ මුල සිට නැවත පැමිණිය යුතු බවය. පුහුණුකරුවකු කුඩා පිතිකරුවකුට විශේෂයෙන් දෙන උපදෙසක් වන්නේ දඟපන්දු යවන්නාගේ අත බලා පහර දෙන ලෙසය. නමුත් කුසල්ට මේ වනවිට එම පාඩම අමතක වී තිබේ.  

දඹුල්ලේදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් එංගලන්ත පිල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 31 කින් ජය ලැබීමත් සමඟ ශ‍්‍රී ලංකාව පසුපසට තල්ලු විය. ශ‍්‍රී ලංකා පිල එම තරගයේදී ද වර්තමාන කළමනාකාරිත්වයේ ක‍්‍රමයට නිත්‍ය පිතිකරුවන් පස් දෙනකුගෙන් පමණක් ක‍්‍රීඩා කළේය. එහිදී ඉදිරි පෙළ පිතිකරුවන් සිවුදෙනාම අසාර්ථක වූහ. කුසල් පෙරේරා අංක හතර ස්ථානයේ පන්දුවට පහර දෙමින් පන්දු 37 කින් ලකුණු 30 ක් රුස් කළේය. කුසල් පෙරේරා අංක හතර ස්ථානයේ පන්දුවට පහරදීම කොතරම් ප‍්‍රයෝජනවත්ද යන්න ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමනාකාරීත්ව අවධානය යොමුකළ යුතුය.  කුසල් පෙරේරා ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කළේ නම් මීට වඩා ප‍්‍රයෝජනයක් ලබාගත හැකි බව ක‍්‍රිකට් දැනුමැත්තෝ පුන පුනා පැවසුවද ක‍්‍රිකට් කළමනාකාරිත්ව බීරි අලින්ට වීනා වයන්නාක් මෙනි.

තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වා හයවැනි කඩුල්ලට ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනඟා තිබියදී වර්ෂාව හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායෙන් ප‍්‍රතිඵලය ලැබුණි. කෙසේ වෙතත් එම දෙපළෙන් කෙනකු දැවී ගියේ නම් ඉනිම තදකරගෙන සිටීමට පසුපෙළ පිතිකරුවෙක් සිටියේ නැත. පල්ලෙකැලේ පළමු එක්දින තරගය වනවිට කුසල් පෙරේරා ආබාධයකට ලක්ව තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවිය.

ශ‍්‍රී ලංකාව 90 සහ 2000 දශකයේ අර්ජුන රණතුංග, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර නායකයන් ලෙස කටයුතු කළ කාලයේ මෙන් ක‍්‍රීඩා නිත්‍ය පිතිකරුවන් හතක් සමඟ ශ‍්‍රී ලංකාව ක‍්‍රීඩා කළ යුතුය. එසේ නොමැති වුවහොත් ලකුණු 200 ක ඉලක්කයක් වුවද ශ‍්‍රී ලංකාවට විශාල අභියෝගයක් වීමට ඉඩ තිබේ. තිසර පෙරේරා සහ දසුන් ශානක යන දෙපළට එක්දින පිලේ එකවර ක‍්‍රීඩා කළ නොහැක. නමුත් එම දෙපළම විස්සයි20 පිලේ සිටිය යුතුය. තුන් ඉරියව් ක‍්‍රීඩකයන් හෙවත් භාග ක‍්‍රීඩකයන් යොදා ගැනීමට දැන්වත් නවතා දැමිය යුතුය. 

♦ සටහන: යොහාන් භාසුර, 
      පල්ලෙකැලේ සිට.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00