2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

සැබෑ අවුලකට යන ශ්‍රී ලංකා ක්‍රිකට්

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 167

1982 වසරේ (ICC සාමාජිකත්වය) අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ සාමාජිකත්වය ලබා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ වරම් ලබා ගැනීමත්, 1996 ක්‍රිකට් ලෝක කුසලාන දිනාගැනීමත් ඇතුළුව ජාතියක් ලෙස අපට හිමි වූ ක්‍රිකට් ජයග්‍රහණ පසුපස ඇත්තේ පරම්පරා ගණනාවක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වෙහෙසත්, දශක ගණනාවක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් නැගූ ඔල්වර හඬත්, මුදල් නිසා නොව ක්‍රිකට් වෙනුවෙන් ආදරයෙන් කටයුතු කළ නිලධාරීන්ගේ වෑයමත්ය. අපේ ක්‍රිකට් ජයග්‍රහණ හමුවේ සියලු වර්ගවාදී හැඟීම් වියැකී ගියේය. විවිධ දේශපාලන මතිමතාන්තර අමතකව ගියේය. සැවොම එකා මෙන් විය.

ජාතියක් ලෙස සැවොම එකාවන්ව සිතන්නට අපට දිරි දුන් ක්‍රිකට් ජයග්‍රහණ ලැබෙත්ම අපේ ක්‍රීඩකයන්ට තිබෙන ජාත්‍යන්තර ඉල්ලුමද වැඩි විය. ක්‍රිකට් ක්‍රීඩාව ද සල්ලි ලැබෙන ඉල්ලමක් විය. ජාත්‍යන්තර වශයෙන් දියුණු තලයකට ගෙන ආ ක්‍රිකට් ක්‍රීඩාවල සූදුකරුවන්ගේ ඉව වැටුණේ එතැන් සිටය. ලෝ පුරා රූපවාහිනී නාලිකාවලින් ප්‍රදර්ශන අයිතිය ලබා ගැනීම පිටුපස ඇත්තේ ද මූල්‍යමය තරගයකි.

ක්‍රිකට් ක්‍රීඩා කරන අනෙකුත් රටවල ද මූල්‍යමය වංචා, මුදලට තරග පාවා දීමේ සිද්ධි වරින් වර වාර්තා වුවද මේ වනවිට අනෙක් රටවල් පරයා ඒ අතින් ද අප ඉදිරියට පැමිණ ඇති බවට සන් කෙරෙන තොරතුරු ගිය සතියේ හෙළි වූයේය.
මෙරට ක්‍රීඩා විචාරකයන් සහ මාධ්‍යවේදීන්, අප හමුවේ ඇති ක්‍රිකට් අර්බුදයේ බරපතළකම කෙබඳු දැයි අනතුරු හඟවන්නට පටන්ගෙන තිබුණේ වසර දෙක තුනකට පෙර සිටය. පිච් එකේ තත්ත්වය අනුව මැච් එක තීරණය වන්නා සේ පාලක මණ්ඩලයේ කෙරුවාව අනුව රටේ ක්‍රිකට් ක්‍රීඩාව ද ඉහළට හෝ අගාධයට යාම නොවැළැක්විය හැකිය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ (ICC) දූෂණ විරෝධී ඒකකයේ (ACO) කළමනාකාර ඇලෙක්ස් මාර්ෂල් මෙරටට පැමිණ අපේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, ක්‍රීඩා අධ්‍යක්ෂකවරයාත් හමුවී කරුණු සැල කරන තරමට දැන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තරග පාවාදීමට අදාළ දූෂණ චෝදනා උග්‍ර වී තිබේ. මේ දිනවල අලෙක්ස් මාර්ෂල් ඉන්නේ අප රටේය. ඒ තරග පාවා දීමට අදාළ චෝදනා විමර්ශනය කරනු පිණිසයි.

පසුගිය බදාදා දැනට පවතින තත්ත්වය ගැන විස්තර කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය අපට අනතුරු හැඟවීමේ රතු එළි දල්වා ඇති බවයි. ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනා වැඩිපුරම එල්ල වී ඇත්තේ ශ්‍රී ලංකාවට අදාළව බවත් අපට ඒ පිළිබඳ ඉක්මන් පිළියම් යොදාගත නොහැකි නම් ඉදිරි කාලයේදී ICC ය ලංකාවේ ටෙස්ට් තත්ත්වය දිගටම පවත්වාගන්නට ඉඩ දෙන්නේ ද යන්න ගැන නැවත සළකා බලන බවත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් දෙන මූල්‍යාධාර අවහිර කිරීමේ අවදානමක් ඇති බවටත් අමාත්‍යවරයා කළ ප්‍රකාශය පුවත් වාර්තාවල දැඩි අවධානයට හසු වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සලයේ සභාපති ධූරයට තිලංග සුමතිපාල මහතාට නැවත පත්වීමට ඇති හැකියාව අභියෝගයට ලක්කෙරෙන නඩුවක් දැනට අධිකරණයේ විභාග වෙමින් පවතින නිසා මේ  වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සලයේ කටයුතු ක්‍රීඩා අමාත්‍යංශය යටතට ගෙන තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ කළමනාකාරවරයාගේ ප්‍රකාශය බොහෝ දෙනකුගේ ඇහිබැම ඉහළට ඇදෙන්නක් බවට පත්විය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කෙතරම් හඬින් කණකොකා හඬලන්නේ ද යන්න එම ප්‍රකාශයෙන් ගම්‍ය වේ. 

ඔහුගේ (අලෙක්ස් මාර්ෂල්) ප්‍රකාශයේ සරල සිංහල පරිවර්තනය මෙසේය.

“රටේ ක්‍රිකට්වලට අදාළ දූෂණත්, ඊට අදාළව බරපතළ වැරදි සිදුවී අතැයි කියන චෝදනාත් සම්බන්ධයෙන් දැනට කරගෙන යන විමර්ශන කටයුතු උදෙසා අප දැන් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. එම විමර්ශන කටයුතු දැනට සිදු වෙමින් පවතින නිසා ඒ පිළිබඳව තවදුරටත් මත ප්‍රකාශ කිරීම සුදුසු දෙයක් නෙවෙයි. එහෙත් අපෙන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, ක්‍රීඩා අමාත්‍යවරයාත් හමුවී මේ සම්බන්ධයෙන් අප විස්තරාත්මකව කරුණ සැළ කළ බව තහවුරු කොට කියා සිටිය හැකියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබියදී ඒ වෙනුවෙන් පත් කර ඇති නිසි බලධාරීන්ගේ පූර්ණ සහයෝගය අපට ලැබෙමින් පවතිනවා.
මෙම විමර්ශන කටයුතු සැළකිය යුතු කාලයක් පුරා කරගෙන එන ඒවා බවත්, ශ්‍රී ලංකාවේ නුදුරු දිනවලදී පැවැත්වීමට නියමිත තරගවලට මෙහි සම්බන්ධයක් නැති බවත් පැහැදිලිව කියන්න කැමතියි. කෙසේ වෙතත් ඉදිරි දිනවලදී දූෂකයන් පිළිබඳ අවධියෙන් සිටින බව තහවුරු කොට දැනගන්නා ලෙස මම කණ්ඩායම් දෙකම අමතා කියන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.”

ලැබෙන ආරංචි අනුව වැඩිපුරම විපරම් කිරීම් සිදුකොට ඇත්තතේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් දෙපළක් සම්බන්ධයෙන් බව කියවේ. සැක කරන ලැයිස්තුවේ ඉහළින්ම ඉන්නේ එකී දෙදෙනාගෙන් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සිටි අයකු බවද සැලවේ. අනෙක් තැනැත්තා ක්‍රිකට් පරිපාලනයේ ප්‍රමුඛයකු වන අතර ඔහු වෙනත් ක්‍රියාකාරකම් රාශියක් වෙත බූවල්ලකු මෙන් අඬු විදහාගෙන ඒවා ග්‍රහණය කරගෙන ඉන්නා අයෙකි. මේ සමඟම ජාතික කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකුට අයත් ජංගම දුරකථන දෙකක් ICCය විසින් රඳවා තබාගෙන ඇති බවද තහවුරු වී තිබේ. එම ජංගම දුරකථන තමන් වෙත භාර දී පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන්නට එම තැනැත්තා අකමැති වූ බවද ජාත්‍යන්තර වෙබ් අඩවියක සඳහන් වේ. මේ සමඟ තවත් නම් කිහිපයක් ගැන කියවෙන නමුත් ඒ පිළිබඳව එකින් එක සූක්ෂමව පරික්ෂා කිරීමේ කටයුතු පැවරී ඇත්තේ ICCය වෙතයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය හඳුන්වා දී ඇති ආචාර ධර්ම පද්ධතිය අනුව යම්කිසි තරගයක් පැවැත්වීමට පෙර හෝ තරගය පැවැත්වෙද්දී හෝ එම තරගයේ ප්‍රතිඵලයට බලපාන ලෙස ක්‍රිකට් නීති උල්ලංඝණ්‍ය කරමින් ක්‍රියා කිරීම හා අයථා ක්‍රියාවල නියැලීම තරග පාවාදීමක් ලෙස හැඳින්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය මඟින් හඳුන්වාදී ඇති ආචාර ධර්ම පද්ධතියේ ද මුලින්ම සඳහන් කොට ඇති කාරණයක් වන්නේ තරගයේ විනිශ්චය කුසලතාව මත පදනම් විය යුතුය යන්නය. එවැනි මූලික කාරණා රාශියක් එහි ඇත.
මෙසේ තරග පාවාදීමට අදාළ චූදිතයකු වැරදිකරුවකු වූ විට ඒ සඳහා දඬුවම් දෙන ආකාරය පිළිබඳව SLC හි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාගෙන් විමසූ විට ඔහු විස්තර කොට කියා තිබුණේ යම් චූදිතයකු වැරදිකරුවකු ලෙස ICCය තීන්දු කළහොත්, එවිට ICCය ඔහුට යම්කිසි කාලයක තරග තහනමක් පැනවීම නිර්දේශ කරන බවයි. එවිට ඒ අනුව ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලකය බැඳී සිටී. ඊට අමතරව යම් දඬුවමක් දීමේ හැකියාව පිළිබඳව සොයා බලන බවද ඒ මහතා කියා සිටියේය.

දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව යන රටවල එරට අපරාධ නීතිය යටතේ හැකියාව පවතී. එංගලන්තයේ ද එරට අල්ලස් නීතිය යටතේ තරග පාවාදීම්වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව ඇත. 

එසේ වුවද ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ විධි විධාන සංග්‍රහය යටතේ ක්‍රිකට් තරග පාවා දීමට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් නොපවතින බව සැලවේ. ඒ සඳහා අවධානය යොමු කරන ලෙස ICC නිලධාරීන් මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවද අන්තර්ජාතික වෙබ් අඩවියක සඳහන් වේ.

ICC යේ දූෂණ විරෝධී ඒකකයට සමගාමීව ශ්‍රී ලංකාවේ ද එවැනි ඒකකයක් බිහි කිරීමේ යෝජනාව ක්‍රීඩා අමාත්‍යවරයා කර ඇතත් එවැනි ඒකකයක් විශ්‍රාම ගිය පොලිස් නිලධාරී අශේන් වීරක්කොඩි යටතේ මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය පවත්වාගෙන යන බව පෙනී යයි. මීට අවුරුදු පහකට පමණ පෙර එය විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වූ ලක්ෂ්මන් ද සිල්වා යටතේ එය ආරම්භ වී තිබේ.

දකුණු අප්‍රිකානු තරගාවලියේ රූපවාහිනී ප්‍රදර්ශන අයිතිය උදෙසා සෝනි කෝපරේෂන් වෙතින් ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයට ලැබිය යුතු ප්‍රතිලාභවලින් 15%ක් හෙවත් අමෙරිකානු ඩොලර් 165000 මුදලක් ඊට අහිමි ගිය පුවතක් පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති කළේය.

දැන් උණු උණුවේ ශ්‍රී ලාංකික ක්‍රිකට්වලට අදාළව ආන්දෝලනයකට ලක්ව ඇති පුවත වන්නේ හොංකොංහි බැංකු ගිණුමකට යන්නට ගිය අමෙරිකානු ඩොලර් මිලියන 11.1ක මුදලක් සති දෙකකට පෙර මෙක්සිකෝවේ ගිණුමක නතර වී ඇති බවකි. ඉහත කී ඩොලර් 165000ට ද මෙක්සිකෝවේ ගිණුමකට බැර වී ඇත්තේ ද යන්න සොයා බැලීමට දැන් කාලය එළැඹ ඇත. එම ඇ.ඩො. 165000 මුදල පසුව එන ප්‍රධාන මංකොල්ලයට පෙර අත්හදා බැලීමට දැමූ මුට්ටියක් දැයි සැකයක් පවතී.

පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 8ක් තිස්සේ ඔහු හා සාකච්ඡා කර ඇත්තේ ඒ පිළිබඳවයි.

මේ අයථා ගනුදෙනුවලට හවුල් වෙන ශ්‍රී ලාංකික බූවල්ලාගේ අඬු හොංකොං, මෙක්සිකෝ දෙසට ද විහිදී ඇති බව කලින් කී කරුණු අනුව සැක කළ හැකිය.

කෙසේ වුවද ක්‍රීඩා අමාත්‍යවරයා අපරාධ විසඳීමට අදාළ අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීම පිණිස වූ පූර්ණ විගණනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ පසුගිය කාලයේ කටයුතු සම්බන්ධයෙන් කරන  ලෙස නියෝග කර තිබේ. මෙසේ කරන ලෙස ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මයිකල් තිසේරා ද සෑහෙන කාලයක පටන් ඉල්ලා තිබිණි.

කෙසේ වුවද මෙම අර්බුද හමුවේ ඇති පරිහානිය කොතැනින් කෙළවර වේද යන්න පිළිබඳව සමස්ථ ක්‍රීඩා ලෝලීහු දැඩි විමසිල්ලෙන් බලා සිටිති. ඒ පිළිබඳව කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ක්‍රීඩකයන් දෙතුන් දෙනකු ද අදහස් පළ කොට තිබේ.

♦ සමන් පුෂ්ප ලියනගේ