2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා ක්‍රිකට් කාර් ලොතරැයිය

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 65

“වල්ඌරන් කැකුණ තලද්දී හබන් කුකුළන්ට රජ මඟුල්” යැයි ශ්‍රී ලංකා ජනවහරේ කියමනක් තිබේ. මෙම කියමන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන ක‍්‍රියාකලාපයට වඩාත් ගැලපේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්තානය හමුවේද පරාජය වී දැඩි දුර්වල තත්ත්වයකට පත්ව සිටියද ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය එහි නිලධාරීන්ගේ පාවිච්චියට රුපියල් ලක්‍ෂ 1000 ක් හෙවත් රුපියල් කෝටි 10 කට අධික මුදලක් වැය කරමින් අති නවීන මෝටර් රථ ලබාගෙන ඇති බව වාර්තා වේ.

ප‍්‍රංශයේ නිෂ්පාදිත එකක් රුපියල් ලක්‍ෂ 135 ක් පමණ වන අති නවීන ‘පර්ජෝ’ ජීප් රථ අටක් මිලදී ගැනීමට මේ වනවිටත් පියවර ගෙන තිබේ. ආසන හතකින් යුත් සුඛෝපභෝගි වාහන හතරක් මේ වනවිටත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ගෙන්වා ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් රථ ගාල සාක්‍ෂි දරයි. ඉන් එක් රථයක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ එහි මෙහෙයුම් ප‍්‍රධානී අරුණ ද සිල්වා යන මහත්වරු මේ වනවිටත් පාවිච්චි කරන බව වාර්තා වේ. 

මෙහි වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත්ව ඇත්තේ දැවැන්ත මූල්‍ය චෝදනාවකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය ප‍්‍රධානියාට ද මෙම අති සුඛෝපභෝගි රථයක් ලැබීමට නියමිත බවයි. මූල්‍ය ප‍්‍රධානියාට එල්ල වී ඇති චෝදනාව පිළිබඳව පරීක්‍ෂණය කඩිනම් කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පසුගිය සතිය ආරම්භයේදී පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබුණි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දැඩිව අසාර්ථක වී ඇති මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට ද නවීන ජීප් රථයක් ලබාදීමට නියමිත බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රගතියක් නොමැතිව ප‍්‍රතිලාභ දෙන තත්ත්වයකට පත්ව තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ආයතනයක් එහි වාහන වසර කීපයක් ගතවූ පසු මාරු කිරීම සාමාන්‍ය දෙයක් බවයි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් යනු කිසියම් පුද්ගලයකුගේ හෝ කොටස්කරුවන් කීපදෙනකුගේ පෞද්ගලික හෝ සීමිත සමාගමක් වූයේ නම් මෙම වාහන මිලදී ගැනීම සාමාන්‍ය සිද්ධියකි. එහි ප‍්‍රවෘත්තිමය වටිනාමක් නැත. ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගම් ඕනෑ තරම් එම ආයතනවල ප‍්‍රධානීන්ට මීටත් වඩා වැඩි වටිනාකමින් යුත් වාහන ලබාදුන් ද එය පුවත්පත්වල පොල්ගෙඩි අකුරින් පළ නොවේ. එය එසේ වුවද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යනු මෙරට සමස්ත ජනතාවට අයිති ආයතනයකි. එහි මුදල් මෙසේ වියදම් කරමින් සුළු පිරිසක් සැප විදීම එහි මුදල් සම්බන්ධයෙන් නීතියේ කෙසේ සඳහන්ව තිබුණ මහජන දේවල අවභාවිතය කිරීමකි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට මුදල් ඉපයීමට වර්තමාන සහ අතීත ක‍්‍රීඩකයන් ඔවුන්ගේ කාලය, දහඩිය, කඳුළු මෙන්ම ඇතැමුන් ජීවිතය ද කැප කර තිබේ. ඒ හේතුවෙන් එම මුදල් පිළිබඳව හඬ නැගීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් තිබේ.   

විශේෂ ලියුම්කරුවකු විසිනි