2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

හිටපු කට්ටියගෙන් වැදි බණක්!

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ආසියානු කුසලාන තරගාවලියේදී පසුබෑම ප‍්‍රස්තූතය බවට පත්කරගනිමින් පිරිසක් මේ දිනවල බොර දියේ මාළු බාමින් සිටිති. ආසියානු කුසලාන පරාජය වාසියට හරවා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටින පිරිස බළලුන් ලවා කොස් ඇට බෑවීම හරි හරියට කරගෙන යති. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු ඇතුළු පිරිසක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන නිලවරණය නොපැවැත්වීම සහ ආසියානු කුසලාන තරගාවලියේ පසුබෑම අතර සම්බන්ධතාවක් ගොඩනැගීමේ ව්‍යාජ උත්සාහයක නිරතව සිටීම ඉන් එක් මෙහෙයුමකි.

එම පුද්ගලයන් වීදුරු ගෙවල්වල සිට අනුන්නට ගල් ගසන බව අමතක නොකළ යුතුය. ඔවුන්ගේ පරිපාලනය තුළ ලැබූ දැවැන්ත පරාජයන් අමතක කර මෙම පරාජය ඉහළට ගෙන එමින් ක‍්‍රීඩා අමාත්‍යවරයාට පීඩනය යොමු කරමින් ක‍්‍රිකට් නිලවරණය පස්ස දොරෙන් පැවැත්වීමට බලකිරීම මෙම කුමන්ත‍්‍රණකරුවන්ගේ එකම ඉලක්කය බවට පත්ව තිබේ. එයට කදිම උදාහරණයක් පසුගිය සතියේ දැකගත හැකි විය. එය ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ පුංචි බොරැල්ලේ පැවැති මාධ්‍ය හමුවකි. එහිදී හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයකු මෙන්ම වර්තමානයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රිවරයකු වන එස්. බී. දිසානායක මහතා මෙසේ අදහස් දැක්වීය. 

“මම හිටපු ක‍්‍රීඩා ඇමැති හැටියට වචනයක් කියන්න කැමතියි. ඇත්තටම ෆයිසර් මුස්තාපා ඔය 63න් එක ක‍්‍රීඩාවක්වත් කරලා කියලා අපි අහලා නෑ. ක‍්‍රීඩා පිළිබඳව මොකක්වත් පසුබිමක් තියෙනවා කියලා අපිට පෙනෙන්නෙත් නෑ. හැබැයි මට පෙනෙන්නේ මොන බණ කිව්වත් එයා හිතාමතා තමයි ක‍්‍රිකට් නිලවරණය කල්දාන්නේ. පනත වෙනස් කරන්න, අරක වෙනස් කරන්න මේ සියලුම දේවල් කිය කියා එයා බොරුවට තමයි, වංචාවට තමයි මේ ඡන්දය නොතිය කල්දාන්නේ. ඡන්දෙ නොතියා කල්දාලා කරපු අපරාධය තමයි මේ. ඒ නිසා මේ පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම ෆයිසර් මුස්තාපා බරගන්න ඕනේ”

ෆයිසර් මුස්තාපා මහතා ක‍්‍රීඩා අමාත්‍ය ධූරයට පත්ව පළමු මාධ්‍ය හමුවේදී තමන් කිසිදු ක්‍රීඩාවක් ක‍්‍රීඩාකර නොමැති බව ඉතාමත් පැහැදිලිව පැවසීය. ක‍්‍රීඩා අමාත්‍යය ධූරය දැරීමට ක‍්‍රීඩා කර තිබිය යුතු යැයි කොහෙවත් නීතියක් හෝ රීතියක් නැත. මෙවැනි ප‍්‍රකාශවලට මෙරට ජනතාව සිහිබුද්ධියෙන් ඇහුම්කන් දියයුතුය. ප‍්‍රකාශය කරන පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව හොඳ අවබෝධයක් තබාගත යුතුය. එස්.බී. දිසානායක මන්ත‍්‍රීවරයා යනු ඇට නැති දිවෙන් හැරෙන හැරෙන පැත්තට කථාකරන පුද්ගලයකු බව ඉතිහාසය සාක්‍ෂි දරයි. ඔහු පිළිබඳව මෙරට දේශපාලන කරළියට අමුතුවෙන් කියාදිය යුතු නැත. ඔහු වරෙක කට නිසා සිර දඬුවම් ලැබූ පුද්ගලයෙකි. එස්.බී. දිසානායක මන්ත‍්‍රීවරයාට පරාජයේ වගකීම ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ පිට පැටවීමට කියාදුන් පුද්ගලයා එහි වගකිව යුත්තන් වන තේරීම් කමිටුව, ප‍්‍රධාන පුහුණුකරු සහ නායකයා තමන් විසින් පත්කළ බව පවසා නොමැත. ඒ හේතුවෙන් එස්.බී. මන්ත‍්‍රීවරයා ඇඳුම මසන තෙක් නොසිට ඇඳගෙන ඇති බව පෙනේ. 

තරග දෙකක පරාජය වර්තමාන පාලකයා වන ක‍්‍රීඩා අමාත්‍යවරයා බාරගත යුතු නම් පසුගිය වසර දෙකක කාලය තුළ තරග 60 කින් 37 ක් පරාජය වීමේ වගකීම එසේ නැත්නම් පළමුවරට ශ‍්‍රී ලංකාවේදී සිම්බාබ්වේ හමුවේ තරගාවලියක් පරාජය වීමේ වගකීම, එසේ නැත්නම් නිදහස් කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීම වගකීම බාරගත යුත්තේ කවුරුන්ද යන්න ද එස්.බී. දිසානායක මන්ත‍්‍රීවරයා හෙළිකළ යුතුය. 

 විශේෂ ලියුම්කරුවකු විසිනි