2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

මෙහෙම ගියොත් හැමදාම සමාව ඉල්ලන්න වෙයි !

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 403

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයට ‘කළු පැල්ලමක්’ ඉතිරි කරමින් ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දැන් පැවැත්වෙන දින 14ක ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය දින තුනකින් අවසන් කර මේ වනවිට ශ‍්‍රී ලංකාවට පැමිණ සිටියි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සාර්ථකම තරගාවලිය වන ආසියානු කුසලානයේ පළමු වටයෙන්ම මෙවර ශ‍්‍රී ලංකා පිල ඉවතට විසිවූ අතර බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත් වීමෙන් දෙවැනි වටය අහිමිවීම එහි වඩාත් කැපී පෙනෙන සිද්ධිය වේ.

ආසියානු කලාපයේ ප‍්‍රබලයන් වන ඉන්දියාව සහ පාකිස්තානය සමඟ තරග කිරීමෙන් තොරව ශ‍්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත්වීම වඩාත් කැපී පෙනුණි. අබුඩාබිහිදී පසුගිය සඳුදා පැවැති තරගයේදී ශ‍්‍රී ලංකා පිල කෝඩුකාර ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 91 කින් පරාජයට පත්විය. එය ශ‍්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වූ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එකතු විය.

“අපි හොඳට ක‍්‍රීඩා කළේ නෑ. අපි මේ අවස්ථාවේදී අපේ මුළු රටම පහතට දැම්මා. ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා” යැයි තරගයෙන් පසුව නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. සමාව ගැනීම පහසුවෙන් කළ හැකි දෙයකි. එය වචන කිහිපයක් පමණි. නමුත් මෙම පරාජයෙන් ඇති වූ පැල්ලම මකා දැමීමට තවත් වසර දෙකක් බලාසිටිය යුතුය. ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වෘත්තීය ක‍්‍රීඩකයෝ වෙති. ඒ හේතුවෙන් ඔවුන්ට සමාව අයැද සිටීමේ අවස්ථාවක් හෝ අයිතියක් නැත. 

ශ‍්‍රී ලංකා පිල පසුගිය වසර කීපයේම පරාජයට පත්වූයේ දස්කම් නොමැති වීම නිසා නොව, කණ්ඩායම තෝරාගැනීමේ ඇති දැවැන්ත දුර්වලතාව හේතුවෙනි. ග‍්‍රැහැම් ලැබ්රෝයිගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවට සමබර යන වචනය තේරෙන්නේ නැත. ඔවුන් තුන් ඉරියව් ක‍්‍රීඩකයන් යැයි කියන ‘භාග’ ක‍්‍රීඩකයන්ගෙන් කණ්ඩායම සමබර කිරීමට උත්සාහ කිරීමෙන් වළට වැටී තිබේ.

බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වීමෙන් පසුව එම කණ්ඩායමෙන් සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා සහ අමිල අපෝන්සු ඉවත්කර ඒ වෙනුවට ෂෙහාන් ජයසූරිය, අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර කැඳවනු ලැබූහ. එහිදී වමතින් දඟපන්දු යවන අමිල අපෝන්සු ඉවත්කර ඒ වෙනුවට ෂෙහාන් ජයසූරිය කැඳවීම අටුව කඩා පුටුව හදන්නාක් මෙන් වැඩකි. අපෝන්සු ඉවත් කර පා දඟපන්දු යවන්නෙක් ඇතුළත් කළේ නම් ප‍්‍රශ්නයක් නැත. නමුත් ෂෙහාන් ජයසූරිය යනු පන්දුවට පහරදිය හැකි පිට දඟපන්දු යවන්නෙකි. 

ඇෆ්ගනිස්තාන් පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් හය දෙනාගෙන් පස්දෙනකුම දකුණත් පිතිකරුවන් වුවද ශ‍්‍රී ලංකාව පා දඟපන්දු යවන්නා බංකුවේ තබා පිට දඟපන්දු යවන්නන් තිදෙනකු සමඟ තරගයට පිවිසියේය. අකිල ධනංජය, ධනංජය ද සිල්වා සහ ෂෙහාන් ජයසූරිය යන තිදෙනාම පිට දඟපන්දු යවන්නෝ වෙති. ධනංජය  ඕවර 5 ක් සහ ෂෙහාන්  ඕවර 6 ක් පමණක් ක‍්‍රියාත්මක කළහ.

ශ‍්‍රී ලංකා පිලේ කළමණාකාරීත්වයට සහ තේරීම් කමිටුවට සමබර කණ්ඩායමක් තේරීමට නොහැකි බව එයින් පෙනී යයි. එය එසේ නම් ජාතික සම්පත් විනාශ නොකර ඔවුන් ඉල්ලා අස්විය යුතුය. තිසර පෙරේරා, දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය තුන් ඉරියව් ක‍්‍රීඩකයෝ වෙති. පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කිරීමට නම් කළ යුතුව තිබුණේ නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවීමය. තවද ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් පෙරේරා අංක හතරට තල්ලු කිරීමෙන් වේගවත් ආරම්භක් ලබාගැනීමේ අවස්ථාව අහිමි වී තිබේ. උපුල් තරංග වමත් පිතිකරුවකු වීම නිසා වමත් සහ දකුණත් සංයෝගයක් ඇති කිරීමට කුසල් මෙන්ඩිස්ට අවස්ථාව දෙන බව පැවසේ. එවැනි විහිළු කථා ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට අදාළ නොවන බව මතකයේ තබාගත යුතුය. 

කුසල් මෙන්ඩිස් අඛණ්ඩව අසාර්ථක වී සිටියදී ඔහුට අවස්ථාව ලැබේ. කුසල් මෙන්ඩිස් තරග 22 කින් අර්ධ ශතකයක් රැස්කර නැත. එම තරග 22 දී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 13 කි. එවැනි ක‍්‍රීඩකයකුට දිගින් දිගටම අවස්ථාව ලබාදීම අපරාධයකි. වෙනත් රටවල්වල පුහුණුකරු ලෙස කටයුතු කරද්දී තම අභිමතයට ක‍්‍රීඩකයන් යොදා ගැනීමට ගොස් පන්නා දැමූ ඇතැමුන් ශ‍්‍රී ලංකාවේදී ද තම අභිමතය අනුව ක‍්‍රීඩකයන්ට අවස්ථාව දෙමින් සිටියි. තමන් කෙරැමකු වන්නේ තරග ජය ලැබීමෙන් පමණක් බවත් එම නිලධාරියා නොදන්නා විය යුතුය. 

ශ‍්‍රී ලංකා පිල පසුගිය සෙනසුරාදා සහභාගි වූ පළමු තරගයේදී බංග්ලාදේශය හමුවේ ලකුණු 137ක පරාජයක් ලැබීය. උඩපන්දු අතහැරීම සහ පිතිකරුවන්ගේ වගකීමකින් තොරව පන්දුවට පහරදීම මෙම පරාජයට ප‍්‍රධාන හේතුව බවට පත්විය. බංග්ලාදේශ පිලේ පළමු කඩුලු දෙක ලකුණක් තුළ බිඳ වැටුණු අතර ප‍්‍රබල පිතිකරු තමීම් ඉක්බාල් මුඵ ලකුණු සංඛ්‍යාව දෙකක්ව තිබියදී තුවාල ලබා පිටියෙන් ඉවත් විය.

ඉන්පසුව මොහොමඞ් මිතුන් ලකුණක් ලබා සිටියදී ඇන්ජලෝ මැතිව්ස්ට දුන් උඩපන්දුව සහ මුෂ්ෆිකුර් රහීම් ලකුණු 10 ක් ලබා සිටියදී ඩිල්රුවන් පෙරේරාට ලබාදුන් උඩපන්දුව රැකගත්තේ නම් බංග්ලාදේශ පිලට ලකුණු 150 කට යෑමට දැඩි වෙහසක් ගැනීමට සිදුවේ. එවැනි තත්ත්වයකට පත්වූයේ නම් තුවාල ලැබූ තමීම් ඉක්බාල්ට තනි අතින් පන්දුවට පහරදීමට පිටියට පැමිණීමේ අවස්ථාව නොලැබේ. ඔහු ඒ වනවිට ප‍්‍රතිකාර සඳහා රෝහලට ගොස් සිටියේය. 

ශ‍්‍රී ලංකා පිල උඩපන්දු අතහැරීමෙන් බංග්ලාදේශයට නොතිබුණු ජයක් සඳහා මඟ සකස් කර දුන් අතර ඉදිරිපෙළ පිතිකරුවෝ ප‍්‍රාථමික මට්ටමට වැටෙමින් බංග්ලාදේශ ජය තහවුරු කළහ. නිත්‍ය පිතිකරුවන්ගෙන් කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා සහ නායක ඇන්ජලෝ මැතිව්ස් යන සිවුදෙනාම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගිය අතර එහිදී කඩුල්ලට යවන පන්දුව හරවා යෑවීමට උත්සාහ කළ ආකාරය දැකගත හැකි විය. ඇන්ජලෝ මැතිව්ස් තරගයෙන් පසුව කළ ප‍්‍රකාශයෙන් ඒ බව වඩාත් පැහැදිලි වේ. 

“අවාසනාවකට පිතිකරුවෝ දුර්වල පහර තෝරාගත්තා.”

“අපේ පන්දුවට පහරදීම දුර්වල වුණා. මෙම තණතීරුවේ ලකුණු 262ක් කියන්නේ ලබාගත හැකි ලකුණු සංඛ්‍යාවක්. තණතීරැව ඉතාමත්ම හොඳ එකක්. නමුත් අපි වැරදි පහරවලට ගියා” මැතිව්ස් පැවසීය. 

ශ‍්‍රී ලංකා පිල පසුගිය කාලය පුරාම කණ්ඩායමේ සංයුතිය වෙනස් කිරීම ගොස් වරද්දා ගත්තේය. බංග්ලාදේශයට එරෙහිව ආසියානු කුසලාන තරගයේදී සිදුවූයේ එය මිස අන් කිසිවක් නොව. භාග ක‍්‍රීඩකයන් යොදාගෙන පසුගිය වසර කීපයේම ක‍්‍රීඩා කිරීමේ ප‍්‍රතිඵල දැකගැනීමට ලැබුණි. වර්තමානයේද භාග යොදාගෙන ක‍්‍රීඩා කිරීමට ගියහොත් ඉදිරියේදී භායානක ප‍්‍රතිඵල ලැබීම නවතාලිය නොහැක. 

ශ‍්‍රී ලංකා පිල මෙම තරගයට පිවිසියේ නිත්‍ය පිතිකරුවන් පස්දෙනකු, තුන් ඉරියව් ක‍්‍රීඩකයන් දෙනෙකු සහ නිත්‍ය පන්දු යවන්නන් සිවුදෙනකු සමඟිනි. තුන් ඉරියව් ක‍්‍රීඩකයන් ලෙස තිසර පෙරේරා සහ දසුන් ශානක ඇතුළත් වූ අතර එහිදී දසුන් වෙනුවට නිරෝෂන් දික්වැල්ල ක‍්‍රීඩා කළේ නම් කණ්ඩායමේ සමබරතාවට සහ ශක්තියට වැදගත් වේ. 

එහිදී දසුන් ශානක ඕවර තුනක් පමණක් යැවූ අතර ඔහුගෙන් පිතිකරුවකු ලෙස ප‍්‍රතිඵලයක් ලැබුණේද ප‍්‍රශ්නයකි. දසුන් ශානක විස්සයි20 තරගවලදී ප‍්‍රයෝජනයට ගතහැකි ක‍්‍රීඩකයෙකි. තිසර පෙරේරා නොමැති අවස්ථාවක දසුන්ට එක්දින පිලේ ස්ථානයක් ලබාදිය හැකිය. බංග්ලාදේශයට එරෙහිව තරගයේදී බංග්ලාදේශයට දැඩි ප්‍රේක්ෂක සහයෝයක් ලැබීම කැපී පෙනුණි. ක‍්‍රීඩාංගණයට රැස්ව සිටි 30,000ක පමණ ප්‍රේක්ෂකයන්ගේ 20,000කට වඩා බංග්ලාදේශ ජාතිකයෝ වූහ. 
තමීම් ඉක්බාල් තනි අතින් පන්දුවට පහරදීමට සිටියට පැමිණීමට එයද අභිප්‍රානයක් වූවාට සැක නැත. මෙම තරගාවලියේ තරග කාලසටහනේද දුර්වලතා පවතී. ශ‍්‍රී ලංකා පිල 15 වැනිදා පළමු තරගයට සහභාගි වී 16 වැනිදා ඩුබායි ක‍්‍රිකට් පුහුණු පාසල් ක‍්‍රීඩාංගණයේ පුහුණුවීම් කර 17 වැනිදා පස්වරුවේ අබුඩාබිවලට පැමිණ තරගයට සහභාගි විය. කෙසේ වෙතත් ඉන්දියාවද 18 වැනිදා හොංකොං පිලට එරෙහිව තරගයට සහභාගි වී 19 වැනිදා පාකිස්තානයට එරෙහිව තරගයට සහභාගි විය. එවැනි තාක්‍ෂණික දෝෂවලට කණ්ඩායමක් මුහුණ දීමට සූදානම් විය යුතුය. එය එසේ වුවද ඇෆ්ගනිස්තාන් පිල සති දෙකකට පෙර අබුඩාබිවලට පැමිණ පුහුණු තරග කීපයකට ද සහභාගි වී තිබිණි.

ආසියානු ක‍්‍රිකට් බලධාරීන් ඉන්දියාවේ ඉල්ලීමට සුපිරි සිවුදෙනාගේ වටයේ කාලසටහන වෙනස් කිරීමටද කටයුතු කර තිබුණි. ඒ අනුව ඉන්දියාවට ඩුබායිවලදී සියලුම තරගවලට සහභාගි වීමේ පහසුකම් සළසා දී තිබේ. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට දැඩි රස්නය සහිත කාලගුණය තුළ එකවර ක‍්‍රීඩා කිරීමේ අපහසුවක්ද ඇති විය හැකිය. අශ්වයා පැන ගිය පසු ස්ථාලය වැසීමෙන් පළක් නැත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල ගැන ද කිවයුත්තේ එයමය.     

 යොහාන් භාසුර ඩුබායි නුවර සිට