2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

දකුණු අප්‍රිකා තරග පරාජය වීමට පිතිකරුවන්ගේ කඩාවැටීම ලොකුම හේතුවක්

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ දකුණු අප‍්‍රිකානු තරග සංචාරයේ අවසානය පෙනෙන මානයට පැමිණ තිබේ. දකුණු අප‍්‍රිකාව පසුගිය කාලය පුරාම සියලුම ප‍්‍රබල කණ්ඩායම් දණගැස්සූ බව මෙහිදී අමතක නොකළ යුතුය.  

ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ විස්සයි20 තරගාවලියේදී ලැබූ ජයග‍්‍රහණ දෙක මෙම සංචාරයේදී දකුණු අප‍්‍රිකාවට මූණපෑමට සිදුවූ බරපතළම මදි පුංචිකම බවට පත්විය.

දෙරට අතර එක්දින තරගාවලියේ තෙවැනි තරගය ඊයේ (04) ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වීමට නියමිතව තිබුණි. මෙම තරගාවලියේ තරගයක් හෝ ජය ලැබීමට ශ්‍රී ලංකා පිලට හැකියාවක් ලැබුණහොත් එය අනාගතයට වඩාත් වටිනාමක් ඇති කරයි. 

මෙම දකුණු අප‍්‍රිකානු සංචාරය පුරාම ශ්‍රී ලංකාව පිතිකරුවන් ආසාර්ථකත්වය කැපී පෙනුණි. එක්දින තරගාවලිය පුරාද මේ වනවිට පිතිකරුවන්ගේ කඩාවැටීම පැහැදිලිව දිස්විය. ශ්‍රී ලංකා යොවුන් ඉදිරිපෙළ පිතිකරුවන් වන දිනේෂ් චන්දිමාල් දිගින් දිගටම අසාර්ථක වීම ගැන කණ්ඩායම තුළ මේ වනවිට කථාබහක් නිර්මාණය වී තිබේ. කුසල් මෙන්ඩිස්ගෙන්ද බලාපොරොත්තු වූ දස්කම් ප්‍රදර්ශනය නොවීමද අවාසනාවකි.

ධනංජය සිල්වාටද සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකි විය. මේ පිතිකරුවන් දෙදෙනාටම පිතිකරණ ලැයිස්තුවේ නිශ්චිත ස්ථානයක් හිමිකර  නොදීම දිගින් දිගටම කැපී පෙනිණී. එය නවක ක්‍රීඩකයන්ට පීඩාකාරී තත්ත්වයක් වීම වැළැක්විය නොහැක.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන දිනේෂ් චන්දිමාල් මෙම තරගාවලියේ ඉනිම 11 කදී ලකුණු 172 ක් පමණක් රැස්කර තිබේ. පෝට් එළිසබෙත්හිදී පැවැති දෙවැනි තරගයේදී රැස්කළ ලකුණු 36 චන්දිමාල්ගේ මෙම සංචාරයේ ඉහළතම ඉනිම වේ. 

කුසල් මෙන්ඩිස් බොහෝ තරගවලදී හොඳ ආරම්භයක් ලබාගත්තද දිගු ඉනිමක් ගොඩගැනීමට අපොහොසත් වීම ගැටලුවක් බවට පත්ව තිබේ. දෙවැනි තරගයේදී උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල සතුටුදායක ආරම්භයක් ගෙන දුන්න ද දකුණු අප‍්‍රිකානු පිලේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ දික්වැල්ලගේ ඉනිම ලකුණු 25 කට සීමා විය. 

දික්වැල්ල දවා ගැනීමට ෆෆ් ඩූ ප්ලීසිස් රැකගත් අනගි උඩ පන්දුව එහිදී ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීමට ප‍්‍රධාන හේතුව බවට පත්විය. එහිදී එම පන්දුව ෆෆ් ඩූ ප්ලීසිස්ගේ වම් අතේ නොරුඳුණේ නම් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු සම්බන්ධතාව ඊට වඩා ඉහළ යනවාට සැක නැත. 

තෙවැනි තරගයේදී හෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ට දිගු සම්බන්ධතා කීපයක් ගොඩනඟා ගැනීමට හැකිවුවහොත් ප‍්‍රබල දකුණු අප‍්‍රිකානු පිලට තරගයක් ලබාදීමේ හැකියාව තිබේ.   

♦ සටහන: භාසුර

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00