2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

හිටපු ලොක්කියන් දණගැස්සූ දැල්පන්දු ආසියානු රජ දැක්ම

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 128

ශ්‍රී ලංකා දැල්පන්දු ක‍්‍රීඩිකාවෝ පසුගිය ඉරිදා වසර නවයකට පසුව ආසියානු දැල්පන්දු ශූරතාව නැවතත් මව්බිමට රැගෙන ඒමට සමත් වූහ. ශ‍්‍රී ලංකාව ආසියානු දැල්පන්දු කිරුළ පැළදි පස්වැනි වතාව මෙය වූ අතර කිසියම් රටක් එම ශූරතාව දිනා ඇති වැඩිම වාර සංඛ්‍යාව ද මෙය වේ.

ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ මැදිහත්වීමෙන් ආසියානු දැල්පන්දු ශූරියන් ඇගයීමට පසුගිය අඟහරුවාදා අලුයම කටුනායක ගුවන්තොටුපලේදී පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්වීය.

ශ‍්‍රී ලංකා දැල්පන්දු පරිපාලනය මෙන්ම ජාතික දැල්පන්දු කණ්ඩායම ද පසුගිය වසර කීපයක සිට කෙස්වලු පටලවා ගැනීමේ ක‍්‍රීඩාවක් බවට පත්ව තිබුණු බව ප‍්‍රසිද්ධ රහසකි.

මෙම ජයග‍්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා දැල්පන්දු පරිපාලනයේ කුණුගොඩ නැවතත් ඇවිස්සීම වඩාත් කැපී පෙනුණි. එහි වඩාත් බරපතළ තත්ත්වය බවට පත්ව ඇත්තේ ක‍්‍රීඩා බලධාරීන් ගැටලු පිළිබඳව අවධානයෙන් වඩාත් ප‍්‍රතිඵලදායක තීරණ නොගැනීමෙන් ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහණ අහිමිවූ බවට ප්‍රකාශ වීමය.

ශ්‍රී ලංකා පිලේ පුහුණුකාරිණි තිලකා ජිනදාස මෙනවිය ජයග‍්‍රහණයෙන් පසු කළ ප‍්‍රකාශයත් සමඟ ඇය නැවත පුහුණුකරු ධූරයට පැමිණීමට පිරිසක් පළකළ විරෝධය කරළියට පැමිණියේය.

‘‘ශ‍්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ට්‍රික්සි නානායක්කාර මහත්මියට මෙහිදී මා විශේෂයෙන් ස්තූතිය පළ කරනවා. ඇය තමයි මා නැවත පුහුණුකරු ධූරයට ගේන්න මැදිහත් වුණේ. මාව ලංකාවට නැවත ගෙනාවයි කියලා ට්‍රික්සි මහත්මියට ඇතැම් අය දොස් කිව්වා’’ මම හිටපු ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ එදා ගත්තු තීරණයට. එතුමා මගෙන් ඉල්ලුවේ වෙන කිසිම දෙයක් නෙමෙයි මේක හරියට කරලා රට දිනවලා දෙන්න කියලා විතරයි. මොකද එතුමට තේරුම් ගිහින් තිබුණා දැල්පන්දු ක‍්‍රීඩාවේ පැවැති තත්ත්වය. ඉතින් ඔහු මගෙන් ඉල්ලා සිටියා මේක හරි මාර්ගෙට දාන්න කියලා”

හිටපු ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දැල්පන්දු පුහුණුකාරියන් රැසකගේ විරෝධය මැද තිලකා මෙනවියට පුහුණුකරු ධූරය ලබාදීමේ ප‍්‍රතිඵල දැන් ලැබී තිබේ.

තිලකා මහත්මිය පුහුණුකරු ධූරය බාර ගැනීමට පෙර වසර දෙක තුනක් ජාතික කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකාවන් ඉවත් කිරීමට හිටපු පුහුණුකාරිනියක් කටයුතු කළාය. එසේ වුවද ඇයතම පවුලේ සාමාජිකාවක් කණ්ඩායමට ඇතුළත් කිරීමට අමතක නොකළාය. 

ආසියාවේ උසම දැල්පන්දු ක‍්‍රීඩිකාව වන තර්ජිනි ශිවලිංගම් ද කැපුණු ක්‍රීඩිකාවන් අතර වූවාය. මෙම තරගාවලියේදී ද තර්ජිනි කණ්ඩායමේ නොමැති වූවා නම් පරාජයට බවට පත්වීමට ඉඩ තිබිණි.

මීට පෙර ඇතැම් පුහුණුකාරියන්ට විරෝධය දක්වමින් ඇතැම් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකාවෝ කණ්ඩායමෙන් ඉවත්ව සිටියහ.

තිලකා මෙනවිය පුහුණුකරු ධූරයට නැවත පත්වීමෙන් පසුව දක්‍ෂ ජ්‍යෙෂ්ඨ සහ තරුණ ක‍්‍රීඩිකාවන් එකතු කරමින් ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කළාය. එහි ප‍්‍රතිඵල මේ වන විට හොඳින්ම පෙනෙයි.

දැල්පන්දු මුදලාලිලා බවට පත්ව සිටින ඇතැම් දැල්පන්දු පුහුණුකාරිනියන්ට තිලකා තම දස්කම් පෙන්වා අවසන්ය. ඒ හේතුවෙන් ක‍්‍රීඩාවේ නාමයෙන් දැන්වත් කකුලෙන් ඇදීම නතර කළ යුතුය. 

♦ වරකාගොඩ ගමගේ