2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

ක්‍රිකට් තේරීම් කමිටුවෙන් සැබෑ වෙනසක්

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 461

එංගලන්තයේදී ලබන වසරේ මැද භාගයේදී පැවැත්වෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා එක්දින සංචිතයේ අත්දැකීම් වැඩිකරමින් සැබෑ වෙනසක් කිරීම ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව පසුගිය සතියේ කටයුතු කළේය. ඩුබායිහිදී සෙනසුරාදා (15 වැනිදා) ආරම්භ වන ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා නම් කළ 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතයට ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් සහ ටෙස්ට් පිලේ ජ්‍යෙෂ්ඨතම පිට දඟපන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරා කැඳවා තිබුණි. ජ්‍යෙෂ්ඨතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග ද මෙම සංචිතයට ඇතුළත්ව සිටින අතර ඔහු සංචිතයට ඇතුළත් වීම වෙනම කතන්දරයක් බවට පත්ව තිබේ. 

දිනේෂ් චන්දිමාල් පසුගිය කාලය පුරා සීමිත  ඕවර තරගවලදී යම්තරමක් අසාර්ථක වීම හේතුවෙන් ස්ථානය අහිමි වූ අතර ලෝක කුසලාන තරගාවලියට ඔහු අවශ්‍ය ක‍්‍රීඩකයකු ලෙස හඳුනාගෙන තිබේ. චන්දිමාල් පල්ලෙකැලේදී පැවැති විස්සයි20 තරගයේ කඩුලු රකිමින් සිටියදී දකුණු අතේ මැද ඇඟිල්ල අාබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් චන්දිමාල්ට ආසියානු කුසලාන තරගාවලිය අහිමිවීමේ අවධානමකට ලක්ව තිබේ. චන්දිමාල් පසුගිය සිකුරාදා ස්කෑන් පරීක්‍ෂණයකට ඉදිරිපත්වීමට නියමිතව තිබූ අතර එහි වාර්තාව අනුව ඔහුගේ සහභාගිත්වය තීරණය වේ.   

පිට දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා අඛණ්ඩව ටෙස්ට් තරගවලදී සාර්ථක වුවද ඔහුට එක්දින හෝ විස්සයි20 කණ්ඩායම්වල ස්ථානයක් හිමි නොවීය. තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන ඩිල්රුවන් සීමිත  ඕවර තරගවලදී නව පන්දුවෙන් සාර්ථකව පන්දු යැවීමට දේශීය ක‍්‍රිකට් පිටියේ නමක් දිනා සිටියි. 

ලසිත් මාලිංග මෙම සංචිතයට ඇතුළත් වුවද ඔහුට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබේද යන්න සැක සහිතය. මාලිංග තවමත් ඕවර 10 ක් යැවීමට තරම් ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවන බව වාර්තා වේ. මාලිංග පසුගියදා අවසන් වූ විස්සයි20 තරගාවලියේදී සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අපොහොසත් විය. මාලිංග එම තරගාවලියේ තරග හයේදී කඩුලු තුනක් පමණක් දවා ගත්තේය. ඔහු දැඩි ප‍්‍රහාරයකට ද ලක්වූ ආකාරය දැකගත හැකිවිය. මාලිංග සංචිතයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එතරම් කැමැත්තක් නොදක්වන බවත් සමාජ මාධ්‍යවල පසුගිය සතියේ පළවූ ඇතැම් කථාද හතුරැසිංහගේ විරෝධය ප‍්‍රදර්ශනය විය. ශ්‍රී ලංකා සංචිතය ප‍්‍රකාශයට පත්කළ දිනට පෙර දින ලසිත් මාලිංග, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා හමුවීමට ද පැමිණි බව වාර්තා වේ. කෙසේ වෙතත් මාලිංගට නැවතත් අවස්ථාවක් ලබාදීම හොඳ තීරණයකි. ඔහු දස්කම් අතර සිටින්නේ නම් මෙහිදී එය ප‍්‍රදර්ශනය කළ හැකිය. එසේ නොවුණහොත් මාලිංගට තැනින් තැන කියවීමේ ක‍්‍රියාව නතර කිරීමට සිදුවේ. 

ශ්‍රී ලංකා පිල පසුගිය කාලය පුරාම වමතින් දඟ පන්දු යවන්නෙකු නොමැති අඩුව ප‍්‍රදර්ශනය කළ අතර එම අඩුව පුරවමින් මෙම සංචිතයට වමතින් දඟපන්දු යවන අමිල අපෝන්සු කැඳවා තිබේ. අපෝන්සු මීට පෙර එක්දින පිල නියෝජනය කළ ද ඔහුට අඛණ්ඩව ස්ථානය හිමිනොවීය. 

මෙම සංචිතයට තුන් ඉරියව් ක‍්‍රීඩකයන් සිවුදෙනකු ඇතුළත්ව සිටීම කැපී පෙනේ. තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා සහ ඩිල්රුවන් පෙරේරා එම තුන් ඉරියව් ක‍්‍රීඩකයෝ වෙති. ධනුෂ්ක ගුණතිලකද අවස්ථානුකූල පිට දඟපන්දු යවන්නකු ලෙස කටයුතු කරයි. කසුන් රාජිත, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ ලසිත් මාලිංග නිත්‍ය වේගපන්දු යවන්නන් වන අතර තිසර සහ දසුන් ද වේගපන්දු යවන්නෝ වෙති. 

එක්දින පිලේ නිත්‍ය පිට දඟපන්දු යවන්නා ලෙස වසරකට වැඩි කාලයක් ක‍්‍රීඩා කළ අකිල ධනංජය ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග දෙකට සහභාගි නොවේ. අකිලගේ බිරිඳය පළමු දරු ප‍්‍රසූතියට සූදානම්ව සිටීම නිසා එම තරග දෙකෙන් පසුව සංචිතයට එකතු වීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඔහුට අවසර දී තිබේ.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ඩුබායිහිදී ලබන සෙනසුරාදා තරග කිරීමට නියමිතය. ආසියානු කුසලානයට සහභාගි වන මෙම සංචිතයේ අති බහුතරයකට ලෝක කුසලානය දක්වා අඛණ්ඩව ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණහොත් වඩාත් ප‍්‍රතිඵල දායක විය හැකිය.  

♦ යොහාන් භාසුර

ශ‍්‍රී ලංකා එක්දින සංචිතය:

ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ඩිල්රුවන් පෙරේරා, අමිල අපෝන්සු, කසුන් රාජිත, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ ලසිත් මාලිංග

අතිරේක ක‍්‍රීඩකයෝ: ෂෙහාන් මධුසංඛ, නුවන් ප‍්‍රදීප්, ලක්‍ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00