2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

ක්‍රිකට් නිලවරණයේ අළු යට ගිනි පුපුරු

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන දෙසැම්බර් මස 31 වැනිදාට පෙර නොපැවැත්වුහොත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තහනමට ලක්වෙතැයි පැවැති බිය පසුගිය සතියේ දුරුකර ගැනීමට හැකිවිය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වා සාමාජිකයන්ගේ ඡන්දයෙන් නිලධාරීන් තෝරාගැනීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ක‍්‍රීඩා අමාත්‍යංශයට ලබන වසරේ පෙබරවාරි මස 9 වැනිදා දක්වා කල් දුන්නේය.

ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඇතුළු නිලධාරීහු පසුගිය සතියේ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ප‍්‍රධානීන් හමුවී වර්තමාන ක‍්‍රිකට් පරිපාලනය සහ නිලවරණය පිළිබඳව දැනුවත් කළහ. එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා නිලවණය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුව පිළිබඳව දැනුවත් කර තිබේ. මෙම සාකච්ඡාවට එකතු වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා එයට අදාළ නීතිමය තත්ත්වය පැහැදිලි කර තිබේ. නිලවරණය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවේ වෙනස්කම් කිරීමට ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

එහිදී අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නිලධාරීන් ක‍්‍රිකට් පරිපාලනයට දේශපාලන අතපෙවීම් ඇති බවට නැගෙන චෝදනාව පිළිබඳව ද විමසීමක් කර තිබේ. ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කමල් ධර්මසිරි මහතා වර්තමානයේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස කටයුතු කරන අතර පරිපාලනය පවත්වාගෙන යෑමට සිවුදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කරන ලෙස අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව දැනුම්දී තිබේ. 

ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉන්දුනීසියාවේදී පැවැති ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ අවස්ථාවේදී පැවසුවේ එම කමිටුව අතුරු කමිටුවක් නොවන බවයි. 

“මෙම සිවුදෙනාගේ කමිටුව අතුරු කමිටුවක් නොවෙයි. මෙයට මම ක‍්‍රිකට්වලට සම්බන්ධ නැති සිවුදෙනෙක් පත්කරන්න තමයි හිතන් ඉන්නේ.”

“අපිට පෙබරවාරි මස 9 වැනිදා දක්වා අවස්ථාව ලැබී තියෙනවා. නිලවරණය සමහර විට දෙසැම්බර් 31ට පෙර පැවැත්වෙන්නත් පුළුවන්” යැයි අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා එසේ පැවසුව ද සිවුදෙනාගේ කමිටුවට පත්කරන පුද්ගලයන් පිළිබඳව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව අවධානයෙන් සිටිනවාට සැක නැත. 

හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා නිලවරණය ඉදිරිපත්වීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා අභියාචනාධිකරණය ගොනු කළ පෙත්සම් විභාගය පසුගිය සතියේ නැවත කැඳවීය. එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා පැවසුවේ විශ‍්‍රාම ලත් මහාධිකරණ විනිසුරුවන් දෙපළගේ, ඊට ඉහළ අධිකරණයක විශ‍්‍රාමලත් විනිසුරුවන් දෙදෙනකුගේ සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකුගේ සමන්විත කමිටුවක් නිලවරණ කමිටුවක් පත්කරන බවයි. එහි වැඩිදුර නඩු විභාගය නොවැම්බර් මස 30 වැනිදාට කල් තැබුණි. 

මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය පැවැත්වෙන දිනයක් ප‍්‍රකාශයට පත්කිරීමට ක‍්‍රීඩා අමාත්‍යවරයාට හෝ නොහැකි බව පැහැදිළිය. කෙසේ වෙතත් ක‍්‍රිකට් නිලවරණය ලබන පෙරවාරි මස 9 වැනිදා හෝ ඊට පෙර පැවැත්වීමට අනිවාර්ය වී තිබේ. 

♦ වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00