2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

ආපසු වරද්දා නොගත යුතුය...

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 248

ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් පල්ලෙකැළේදී සහ කොළඹදී පැවැති එක්දින තරග දෙකේදී සහ පසුගිය අඟහරුවාදා විස්සයි20 තරගයේදී ක‍්‍රීඩාකළ අකාරයට තවත් එක තරගයකදී ක‍්‍රීඩා කළේ නම් දකුණු අප‍්‍රිකානු පිලේ පසුගිය අඟහරුවාදා අවසන් වූ ශ්‍රී ලංකා තරග සංචාරය මීට වඩා වෙනස් ආකාරයට ඉතිහාසයට එක්වීමට ඉඩ තිබුණි.

ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අවසන් එක්දින තරග දෙක සහ විස්සයි20 තරගය විශිෂ්ට ලෙස ජය ලැබීමෙන් හොඳ මානසික තත්ත්වයක් නැවතත් උද්දීපනය කරගත්හ. දකුණු අප‍්‍රිකානු පිල පළමු තරග තුනම පිට පිටම ජය ලබමින් එක්දින තරගාවලියේ ජය තහවුරු කරගත්තේය. ඒ අනුව දකුණු අප‍්‍රිකාව එක්දින තරගාවලිය 3x2 කින් ජය ලැබීය.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි තරගයේදී දකුණු අප‍්‍රිකානු ආරම්භක පිතිකරුවන් දෙපළ ඉනිම ආරම්භයේදී කසුන් රාජිතගේ පන්දු දෙකකට ලබාදුන් පහසු උඩපන්දු රැකගත්තේ නම් ශ්‍රී ලංකාවට එම තරගය ජය ලැබීමට විශාල ඉඩකඩක් තිබුණි. “ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ” ලෙස ශ්‍රී ලංකා ජනවාහරයේ කියමනක් ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන්ට මතක් කළ යුතුය.

පල්ලේකැලේදී පැවැති දිවා රාත‍්‍රී සිව්වැනි තරගයේදී දසුන් ශානක සහ තිසර පෙරේරා රැස්කළ අර්ධ ශතක ශ්‍රී ලංකා එක්දින පිලේ දිශානතිය වෙනස් කිරීමට හොඳ අවස්ථාවකදී. දසුන් එහිදී පන්දු 34 කදී ලකුණු 65 ක් රැස් කළ අතර ඔහු ආර්. ‍ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පන්දු 15 කින් ලකුණු 21 ක් ද රැස් කළේය. දසුන් යනු එක්දින පිලේ අවස්ථාව ලැබීම ප්‍රමාද වූ ක‍්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් මෙම අවස්ථාවෙන් නිසි ප‍්‍රයෝජන ගනිමින් දසුන්ට අඛණ්ඩව අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව ලබාදිය යුතුය. එසේ නොකර තවත් ක‍්‍රීඩකයකු අත්හදා බැලීමට කාලය නොමැති බව තේරුම්ගත යුතුය.

තිසර පෙරේරා සම්බන්ධව ද කථාව එසේමය. තිසර මේ වනවිට එක්දින තරග 138 කට ක‍්‍රීඩා කර ඇති අතර ලෝක කුසලාන දක්වා ඔහුට ද අඛණ්ඩව නිදහසේ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවිය යුතුය. අකිල ධනංජයට දැන් අඛණ්ඩව තරග රුසක් ලබාදී තිබීමෙන් ඔහු නව පන්දුවෙන් අධිවේගී ඕවර තුළ සාර්ථකව පන්දු යැවීමට සමත්ව සිටියි. ආර්. ‍ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේදී පා දඟ පන්දු අතිරේක අවියක් බවට පත්කරගනිමින් දකුණු අප‍්‍රිකානු පිතිකරුවන් මර්දනය කළ ආකාරය අතිශයින්ම ආකර්ශනීයය. ශ්‍රී ලංකා එක්දින පිලේ ලෝක කුසලානයට යන පිට දඟපන්දු යවන්නා ඔහු බවට විශ්වාසය ලබාදුනහොත් ඔහු මීට වඩා විශ්වාසයක් පන්දු යවන බවට බලාපොරොත්තු විය හැකිය.

ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියේදී නැවත පීක් එකට පැමිණියේය. මැතිව්ස් ලෝක කුසලාන දක්වා ආරක්‍ෂා කරගැනීමේ වගකීමද ක‍්‍රිකට් බලධාරීන් සතුය. ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න එක්දින පිලට ගෙන ඒමේ අරමුණින් දකුණු අප‍්‍රිකානු නැගීඑන පිලට එරෙහිව එක්දින තරගාවලියේ දඹුල්ලේදී පැවැති තරග දෙකේ අවස්ථාව දුන්නේය. දිමුත් පළමු තරගයේදී ලකුණු 125 ක් රැස් කළේය. මෙහිදී පැන නඟින ගැටලුව බවට පත්ව ඇත්තේ දිමුත් යොදවන්නේ කුමන ස්ථානයේද යන්නයි. එසේ නම් දිමුත් මැද පෙළ පිතිකරුවකු ලෙස පුහුණු කළ යුතු අතර එය කඩිනම් කළ යුතුය. ඉදිරි පෙළ පිතිකරුවන් කීපදෙනකු අඩු ඕවර සංඛ්‍යාවකදී දැවී ගිය විට අන්තයක් ආරක්‍ෂාකරගැනීමේ ඉනිමක් ක‍්‍රීඩා කළ හැකි ක‍්‍රීඩකයකු නොමැති බව පසුගිය සංචාර කීපයේදීම ප‍්‍රදර්ශනය විය. දිමුත් මේ වනවිට ලකුණු අතර සිටීම නිසා එළඹෙන ආසියානු කුසලානයේ සිට ඔහුට අවස්ථාව දිය හැකිය.

ධනුෂ්ක ගුණතිලක ද ලකුණු අතර සිටියදී තහනමකට ලක්විය. ආසියානු කුසලාන තරගාවලියේදී ධනුෂ්ක පිළිබඳව ද අවධානය යොමු කළ යුතුමය.  ශ්‍රී ලංකාව මේ දක්වා එක්දින පිලට පා දඟ පන්දු යවන්නකු තෝරාගෙන නොමැත. එම පුරප්පාඩුව ද හැකි ඉක්මනින් පිරවිය යුතුය. එසේ නොවුණහොත් කණ්ඩායම සමබර නොවේ. ආරම්භක පිතිකරුවන් සිවුදෙනකු පමණ සාර්ථකව සිටින මෙම තත්ත්වය හමුවේ එක්දින සංචිතය තේරීම වඩාත් බරපතළ වනවාට සැක නැත.  

♦ යොහාන් භාසුර