2018 ජුලි 21 වන සෙනසුරාදා

වරද පිළිගෙන දාපු ඇපෑල ඉල්ලන් කෑමක් වෙලා!

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 197

ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට, ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ යන මහත්වරුන්ට පනවා තිබූ ටෙස්ට් තරග දෙකක තහනම එක්දින තරග හතරකින් දීර්ඝ කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පසුගිය සතියේ පියවර ගත්තේය. මෙම දඬුවම් දිගුව ‘ඉල්ලගෙන කෑමක්’ යැයි දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මෙම තහනම් දිගුව පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ‘ඔය ඉල්ලන් කෑවා ඇති’ යනුවෙනි.

“අපේ වෙලාවට ඒ තරගයේ තීරකවරයා හොඳයි. වෙන කෙනෙක් හිටිය නම් තරගයේ ජයග‍්‍රහණය කොදෙව් පිලට දීමේ අවස්ථාවත් තිබුණා. නැවත අභියාචනා දැම්මොත් එක්දින තරග අටක් වෙන්න පුළුවන්” යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

ගාල්ල ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර මෙම තිදෙනාට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ටෙස්ට් තරග දෙකක තහනම් පැනවීය. එම දඬුවමට පෙර තිදෙනා කොදෙව් සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගයේදී ක‍්‍රීඩාවේ ‘ජීව ගුණයට’ හානි කළ බවට වරද පිළිගෙන තිබුණි. දැනගන්නට ඇති පරිදි වරද පිළිගෙන තිබියදී දඬුවමට එරෙහිව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හරහා ටෙස්ට් තරග දෙකක තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. එම අභියාචනයට අනුව මෙම තහනම එක්දින තරග හතරකින් දීර්ඝ වී ඇති බව දැනගන්නට තිබේ. 

මෙම තිදෙනා නම් පමණක් වෙනස් කරමින් එකම කරුණු ඇතුළත් අභියාචනා තුනක් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට යොමුකර තිබූ බවද දැනගන්නට තිබේ. මෙම සිද්ධිය ආරම්භයේ සිටම පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ යන මහත්වරුන් හැසිරුණු ආකාරයෙන් තත්ත්වය බරපතළ වූ බව බොහෝ දෙනාගේ පිළිගනීමය. 
එම සිද්ධියේදී නිලධාරීන් දෙපළ මීට වඩා කල්පනාකාරීව හැසිරුණේ නම් මෙය චන්දිමාල්ට පමණක් ටෙස්ට් තරගයක තහනමින් ගොඩින් බේරා ගැනීමට අවස්ථාව තිබුණි. වරද පිළිගෙන තිබියදී අභියාචනා ඉදිරිපත් කිරීමෙන් තත්ත්වය තවදුරටත් බරපතළ වී ඇති බව පෙනේ. මෙම දඬුවම් දිගුවත් සමඟ චන්දිමාල්ට දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව එක්දින තරගාවලියේ තරග හතරක් අහිමිවේ. මෙය ශ්‍රී ලංකාව පැත්තෙන් එතරම් හොඳ තත්ත්වයක් නොවේ. මෙවැනි ප‍්‍රශ්නවලදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් මීට වඩා සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුව තිබේ. 

දකුණු අප‍්‍රිකාවට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 278 කින් ජය ලැබීමත් සමඟ නව පණක් ලැබුණි. එම තරගය තෙවැනි දිනයේ තේ විවේකයටත් පෙර අවසන් වීම වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත්විය. ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ තණතීරුව මුදලට පවාදීමේ සිද්ධියකට සම්බන්ධ යැයි මාධ්‍ය වාර්තා පළවීමෙන් පසුව පැවැති පළමු තරගය දින දෙකහමාරකින් අවසන් වීමද මෙහිදී කථාබහට ලක්විය. 

ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් වන රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා මෙහිදී අනගි පන්දු යැවීමක නිරත වෙමින් දකුණු අප‍්‍රිකානු දෙවැනි ඉනිම ලකුණු 73 කට සීමා කිරීම මෙම පහසු ජයග‍්‍රහණයට පාර කැපීය.

දෙරට අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය පසුගිය සිකුරාදා එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර තරගාවලිය ජය ලැබීමට නම් ශ්‍රී ලංකාවට එම තරගය විසඳුමකින් තොරව අවසන් කිරීම ප‍්‍රමාණවත්ය.  

♦ යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00