2018 ජුනි 23 වන සෙනසුරාදා

ක්‍රිකට් විශිෂ්ටයන්ගේ කනේ පහර

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 166

“සංගට මහේලට කොන්දක් තියෙනවා. ඒගොල්ලො ඔය කමිටුවට එන්න බෑ කියපු එක හරියට හරි” යැයි ක‍්‍රීඩා ඇමතිවරුන්ගේ ක‍්‍රියාකලාපය සහ ක‍්‍රිකට් පරිපාලනය පිළිබඳව දැනුමැත්තෝ බොහෝ දෙනෙක් පැවසූහ. ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් පස් දෙනකු ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දියුණුව සඳහා උපදෙස් ගැනීමට ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ උපදෙස් අනුව පත්කළ කමිටුවේ කටයුතු කිරීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔවුහු එසේ කියූහ. 

කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන් සහ රෝෂාන් මහානාම එම හිටපු ක‍්‍රීඩකයෝ වෙති. මෙම හිටපු ක‍්‍රීඩකයන් පස්දෙනාම එම කමිටුවේ කටයුතු කිරීමට අකමැත්ත පළකිරීම මෙහිදී කැපී පෙනුණි. එහිදී පළමුවෙන්ම මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ අවස්ථා කීපයකදී මෙවැනි දේවලට තමන් කාලය නාස්ති කළ බවත් ඉදිරියේදී මෙවැනි කමිටුවට සහභාගි නොවන බවත්යි.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තරග තීරකවරයකු ලෙස සේවය කරමින් ඉන් ඉවත්ව සිටින රොෂාන් මහානාම ලිපියක් මගින් දැනුම්දී තිබුණේ මෙවැනි උපදේශක කමිටුවලට සහභාගි නොවන බවත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් පූර්ණ බලතල ලැබෙන්නේ නම් තමන් ඒ පිළිබඳව සිතා බලන බවයි. කුමාර් සංගක්කාර ද උපදේශක කමිටුවට සහභාගි වීම ප‍්‍රතික්ෂේප කර තිබූ අතර ඔහු නැවතත් පෙන්වාදී තිබුණේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව අනාගතය වෙනුවෙන් ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවේ වෙනස්කම් කළ යුතු බවයි.  මුත්තයියා මුරලිදරන්, ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ උපදේශකයකු ලෙස පත්කර තිබුණි. මුරලිදරන් ද එම යෝජනාව ප‍්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකා ලෝක ශූර ක‍්‍රිකට් පිලේ ප‍්‍රබලතම සාමාජිකයකු වන අරවින්ද ද සිල්වා ද නැවත උපදෙස් ලබාදීම ප‍්‍රතික්ෂේප කර තිබූ බව වාර්තා විය. 

ශ‍්‍රී ලංකාවේ ඇතැම් දේශපාලඥයන් ජනතාව ගොනාට අන්දන බව අමුතුවෙන් කිවයුතු නැත. ශ්‍රී ලංකාවේ වර්තමානයේ කටයුතු කෙරෙන ආකාරය දෙස බැලීමේදී ඒ බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම පත්කිරීම ද හිටපු සුපිරි ක‍්‍රීඩකයන් නැවත ගොනාට ඇන්දවීමට තැත් කිරීමේ ව්‍යාපෘතියක් යැයි කිවහොත් එහි කිසිදු සැකයක් නැත. මහේල, සංගක්කාර සහ අරවින්ද හිටපු ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පාලන කාලයේ පැවැති උපදේශන කමිටුවක ද කටයුතු කළහ. මෙම හිටපු ක‍්‍රීඩකයන් ඊට පෙරද ක‍්‍රිකට් ආයතනයේ සහ ක‍්‍රීඩා අමාත්‍යංශයේ උපදේශක කමිටුවල කටයුතු කළහ.  

දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උපදේශන කමිටුව රැස්වූ පළමු අවස්ථාවේදී ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් පිටවී යෑමට පෙර මාධ්‍යයට අදහස් දැක්වූ මහේල ජයවර්ධන පැවසුවේ මෙය අවසන් අවස්ථාව බවයි. 

“අපි මීට වඩා කාලය නාස්ති කරන්න සූදානම් නෑ. මෙහිදී අපි දෙන නිර්දේශ ක‍්‍රියාත්මක නොකරන්නේ නම් අපි නැවත මේ වගේ වැඩවලට එන්නේ නෑ” යැයි මහේල එහිදී පැවසීය. එහිදී මහේල පැවසූ අනාවැකිය මේ වනවිට යථාර්ථයක් බවට පත්ව අවසන්ය. දයාසිරි ජයසේකර මහතා ස්ථාපිත කළ හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව ඉදිරිපත් කළ එකම නිර්දේශයක් හෝ ක‍්‍රිකට් ආයතනය හෝ ක‍්‍රීඩා අමාත්‍යංශය ක‍්‍රියාත්මක නොකළ බවට එල්ල වන්නේ ප්‍රබල චෝදනාවකි.

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර හිටපු ක‍්‍රීඩකයෝ ක‍්‍රීඩාවේ අනාගතයට කරන ආයෝජනවලදී පෙරමුණ ගැනීමට පසුබට නොවෙති. මහේල ජයවර්ධන, අධ්‍යාපන අමාත්‍යංශය පාසල් ක‍්‍රිකට් දියුණු කිරීම වෙනුවෙන් ක‍්‍රියාත්මක වැඩසටහනේ ද ක‍්‍රියාකාරි සාමාජිකයෙකි. වර්තමාන ක‍්‍රීඩා අමාත්‍යවරයා මෙම හිටපු සුපිරි ක‍්‍රීඩකයන් නැවතත් මුලාකරමින් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු දඩයම් කිරීමට සූදානම් වුවද එම උත්සාහය අසාර්ථක විය. 

ක‍්‍රිකට් නිලවරණය අධිකරණය විසින් අත්හිටුවන ලද අවස්ථාවේදී ක‍්‍රීඩා අමාත්‍යවරයා තම අමාත්‍ය ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත්කරමින් ඇඟ බේරා ගත්තේය. එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ අතුරු කමිටු පත්කිරීමට තමන්ට නීතිමය බලයක් නොමැතිබ බවයි. මහේල, සංගක්කාර, මහානාම සහ අරවින්ද උපදේශක කමිටුවක් ලෙස පත්කරමින් ක‍්‍රීඩා අමාත්‍යවරයා අතුරු කමිටුවක කටයුත්ත ඉටුකර ගැනීමට මෙහිදී උත්සහ කළ නමුත් එම උපායට හිටපු ක‍්‍රීඩකයෝ හසු නොවූහ. තවද මෙම ක‍්‍රීඩකයන් ප‍්‍රදර්ශනයට තබා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ කඩා වැටීමේ අපවාදයෙන් ගැලවීමට ද පාලකයෝ සැළසුම් කළහ. මෙවැනි කමිටුවක් පත්කරන ලෙස ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලීමක් කළ බව ක‍්‍රීඩා අමාත්‍යංශය නිවේදනයක් කරමින් පවසා තිබුණි. උපදේශක කමිටුවක් පත්කිරීමට ඉල්ලා සිටීමට තේරීම් කමිටුවට ඇති අයිතිය කුමක්ද යන්න මෙහිදී ගැටලුවක් මතුවේ. ක‍්‍රීඩකයන් ලෙස සිටියදී පන්දු යවන්නන්ට නොබියව පහර දුන් මෙම ක‍්‍රීඩකයෝ මෙම අවස්ථාවේදී පාලකයන්ට දුන් කනේ පහර අගය කළ යුතුය.

♦ විශේෂ ලියුම්කරුවකු විසිනි

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00