2018 ජුනි 16 වන සෙනසුරාදා

කොදෙව් මීළඟ තරග දෙකම ශ්‍රී ලංකාවට තීරණාත්මකයි

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ටෙස්ට් පිල දුර්වල වී ඇති අවස්ථාවේදී ප‍්‍රබලතම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක‍්‍රීඩක ළහිරු ගමගේ නැවත ගෙදර පැමිණීම පියවිය නොහැකි හිඩැසක් බවට පත්ව තිබේ. මැතිව්ස් සිය බිරිඳගේ දෙවැනි දරු ප‍්‍රසූතිය හේතුවෙන් හදිසියේ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා තිබූ අතර ඒ සඳහා පසුගිය අඟහරුවාදා අනුමැතිය හිමිවිය. මැතිව්ස් ටෙස්ට් තරගාවලියේ අවසානය දක්වා රැඳී සිටීම බලාපොරොත්තු වුවද හදිසියේ මෙම ඉල්ලීම කර ඇති බව වාර්තා වේ. 
ළහිරු ගමගේ පළමු ටෙස්ට් තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී ඇඟිල්ලක පන්දුව වැදීමෙන් ආබාධයකට ලක්ව තිබේ. එහිදී ළහිරු සැඳෑ ආරක්‍ෂක පිතිකරු ලෙස පිටියට පැමිණෙමින් පැය දෙකකට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 49 කට මුහුණ දුන්නේය.

දසුන් ශානක සහ ධනුෂ්ක ගුණතිලක සංචිතයට එකතු වීමට පසුගිය බදාදා රාත‍්‍රී ශ්‍රී ලංකාවෙන් පිටත්වුවද ඔවුන්ට දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීමට අවස්ථාව ලැබේද යන්න සැක සහිතය. සිය පියාගේ හදිසි අභාවය හේතුවෙන් පසුව කොදෙව් බලා පිටත්ව ගිය ධනංජය ද සිල්වා දෙවැනි තරගයේදී අංක තුන ස්ථානයේ පන්දුවට පහර දීමට සූදානමින් සිටියේය. කුසල් ජනිත් පෙරේරාට ආරම්භක පිතිකරු ස්ථානයේ තවත් අවස්ථාවක් ලැබීමට බොහෝ දුරට ඉඩ තිබුණි.

තරග තුනකින් සමන්විත මෙම ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක‍්‍රීඩාංගණයේදී පසුගිය බ‍්‍රහස්පතින්දා ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගය ශ්‍රී ලංකාවට වඩාත් තීරණාත්මක වී තිබුණි. ශ‍්‍රී ලංකා පිල මෙම තරගාවලියේ ඉදිරි තරග දෙක පරාජයට පත්වුවහොත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථාන අවදානමට ලක්වේ. ශ්‍රී ලංකාව මෙම තරගාවලිය ආරම්භ වනවිට ප‍්‍රසාද ලකුණු 94 ක් ලබා හයවැනි ස්ථානයේ පසුවිය. කොදෙව් දූපත් ප‍්‍රසාද ලකුණු 67 ලබා ශ්‍රේණිගත කිරීමේ නවවැනි ස්ථානයේ පසුවෙයි.

ශ්‍රේණිගත කිරීමේ පහළ කණ්ඩායමක් හමුවේ ඉහළ සිටින කණ්ඩායමක් පරාජයට පත්වුවහොත් වැඩි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවක් අහිමි වේ. ශ්‍රී ලංකාවට ප‍්‍රසාද ලකුණු 6 ක් අහිමිවුවහොත් හත්වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවේ. එසේ වුවහොත් පාකිස්තානයට හයවැනි ස්ථානය හිමිවීමට ඉඩ තිබේ. ට්‍රිනිඩෑඩ්හි පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 226ක දැවැන්ත පරාජයක් ලැබීම හේතුවෙන් තරගාවලිය පිළිබඳව බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් අවම වශයෙන් මෙම තරගය විසඳුමකින් තොරව හෝ අවසන් කළ යුතුය.

ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් අසාර්ථක වීම සහ පන්දු රැකීමේ දුර්වලතා පළමු තරගයේ පරාජයට මහා පොදු සාධකය බවට පත්විය. ෂේන් ඩව්රිඩ් රැස්කළ ලකුණු 125 වටා සෙසු පිතිකරුවන් රොක්වීමෙන් එකතු වූ ලකුණු 414 කොදෙව් පිලට මෙම තරගයේ ජයග‍්‍රහණය දක්වා ඒමට අඩිතාලම බවට පත්විය. ෂේන් ඩව්රිච් ලකුණු 16 ක් ලබා සිටියදී ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකට පළමු ස්ලිප්හි පන්දු රකිමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් වෙතට ලබාදුන් උඩ පන්දුව ගිලිහී යෑම මේ වනවිට ශ්‍රී ලංකාවට දැඩි කණස්සල්ලක් බවට පත්ව තිබේ.

ශ‍්‍රී ලංකා පිල මෙම සංචාරයට පිටත්ව යෑමට පෙර සිටම ආරම්භක පිතිකරුවන්ගේ අත්දැකීම් අඩු තත්ත්වය පිළිබඳව බොහෝ දෙනා කථා කළද තේරීම් කමිටුව ගාණකට ගත්තේ නැත. මේ වනවිට එහි ප‍්‍රතිඵල ලැබී අවසන්ය. ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ජ්‍යෙෂ්ඨතම ආරම්භක පිතිකරු වන කෞෂාල් සිල්වා ගෙදර තැබීමට ආරම්භයේ සිටම කටයුතු කළේය. ඉන් නොනැවතුණු තේරීම් කමිටුව ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ බංග්ලාදේශ සංචාරයටද කෞෂාල්ගේ අවස්ථාව අහිමි කළේය. මැතිව්ස් සහ ළහිරු නැවත පැමිණීමේ අවස්ථාවෙන් ද ප‍්‍රයෝජනයක් ගැනීමට කෞෂාල්ට අවස්ථාව නොලැබුණි. තේරීම් කමිටුව විවිධ හැඳිවලින් ක‍්‍රීඩකයන්ට බෙදන බව පසුගිය දින කීපයේ නම් කළ සංචිත දෙස බැලීමේදී ප‍්‍රදර්ශනය විය. 

♦ යොහාන් භාසුර