2018 ජුනි 16 වන සෙනසුරාදා

කෝටි 25ක සුගතදාස ට්‍රැක් එක ඉවරයි?

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127

ශ්‍රී ලාංකීය ජනතාවගේ බදු මුදලින් රුපියල් ලක්‍ෂ 2500 කට ආසන්න මුදලක් වැය කරමින් කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ නැවත එලූ කෘත‍්‍රිම ධාවන පථය නියමිත ප‍්‍රමිතියට නොමැති වීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ. ධාවන පථයේ ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලුකාරී තත්ත්වය හමුවේ ඉදිකිරීම් සමාගමේ ගෙවීම් ද මේ වනවිට ක‍්‍රීඩා අමාත්‍යංශය අත්හිටුවා තිබේ.

සුගතදාස ධාවන පථයේ තත්ත්වය එසේ තිබියදී මාතලේ සහ රත්නපුර ක‍්‍රීඩාංගණවල ඉදිකිරීමට නියමිත කෘත‍්‍රිම ධාවන පථවල කොන්ත‍්‍රාත්තු ද එම ඉදිකිරීම් ආයතනයටම ලබාදීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. මාතලේ ධාවන පථයේ වියදම පසුගියදා කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.

මෙම ධාවන පථය විවෘත කර දින කීපයක් ගතවීමෙන් පසුව එහි ස්ථාන කීපයකින් ජලය කාන්දු වන තත්ත්වයක් ඇති වූ අතර එය මේ වනවිට සම්පූර්ණ ධාවන පථයටම පැතිර ගොස් ඇති බව දැනගන්නට තිබේ. එම කාන්දුව එහි දෙවැනි තට්ටුවෙන් පැතිර යන්නක් බවත් මෙම තත්ත්වය හේතුවෙන් නව කෘත‍්‍රිම ධාවන පථය වැඩි කාලයක් පාවිච්චි කළ නොහැකිවන බවත් ධාවන පථ පිළිබඳව දැනුමැත්තෝ පවසති. 

සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණයේ සභාපති තිලක් සිල්වා මහතා මෙම නව ධාවන පථයේ වගකීම බාරගැනීම ප‍්‍රක්ෂේප කිරීමෙන් උද්ගතව ඇති ගැටලුවේ තත්ත්වය වඩාත් බරපතළ වී තිබේ. ක‍්‍රීඩා අමාත්‍යංශයේ සහ සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණයේ ඉංජිනේරුවන් වගකීම බාරගන්නේ නම් තමන් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම් බව සභාපති තිලක් සිල්වා මහතා පවසන බව දැනගන්නට තිබේ. 

මෙම ධාවන පථය විවෘත කර දකුණු අසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය පැවැත් වූ අතර ඉන් පසුව ඉදිකිරීමේ කටයුත්තක් යැයි පවසමින් වසා දමනු ලැබීය. මෙම සටහන තබන මොහොත වනවිට ධාවන පථය පුහුණුවීම් සඳහා විවෘත කර ඇති බව සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණයේ උසස් නිලධාරියෙක් පැවසීය. ක‍්‍රීඩා අමාත්‍යංශයේ ප‍්‍රකාශකයකු පැවසුවේ සුගතදාස ධාවන පථය පිළිබඳව අමාත්‍යංශය මේ වන විට කරුණු සොයමින් සිටින බවයි. ඉදිරිකිරීම් අවසන් කිරීමට පෙර මලල ක‍්‍රීඩා තරගාවලියක් පැවැත්වීමෙන් මෙම තත්ත්වය ඇතිවූ බව ඉදිකිරීම් ආයතනය පවසන බවද වාර්තා වේ. 

හිටපු ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පාලන කාලයේ ටෙන්ඩර් කැඳවීමෙන් බාරකළ මෙම ධාවන පථයේ ඉදිකිරීම් කොන්ත‍්‍රාත් ගිවිසුමට අනුව වසර කීපයක වගකීමක් සහ රණක්‍ෂණ ආවරණයක් ද ඇති බව තතු දන්නෝ පවසති. මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක‍්‍රීඩා අමාත්‍ය ධූරය දැරූ කාලයේද මෙම ක‍්‍රීඩාංගනයේ රුපියල් මිලියන 200 කට ආසන්න මුදල් වැය කරමින් නව කෘත‍්‍රිම ධාවන පථයක් ඉදිරිකළ අතර එය ද නියමිත ප‍්‍රමිතියෙන් තොරවීම නිසා වසරක් හෝ ප‍්‍රයෝජනට ගත නොහැකි විය.   

♦ යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00