2018 ජුනි 09 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා පිල පසු පාදයේ...

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 146

ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය බදාදා මාස හතරකට පසුව ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කීපදෙනකුගෙන් තොරව නැවත පිටියට බැස්සේය. ආබාධයකට ලක්ව සිටි එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් පෙරේරා මෙම තරගයේදී නැවතත් කණ්ඩායමට පැමිණීම වඩාත් වැදගත් සාධකයක් බවට පත්ව තිබේ.

ආබාධයන්ට ලක්ව සිටින ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න, වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ නුවන් ප‍්‍රදීප්ට මෙම තරගාවලිය අහිමිවීම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවකි.

දිමුත් කරුණාරත්න මේ වන විට සුවය ලබමින් සිටින බවත් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ බංග්ලාදේශ සංචාරයේදී දිමුත් නායකත්වයට පත්කර ඇති බවත් දැනගන්නට තිබේ. 

මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට තවත් පැත්තකින් වැදගත් වී තිබේ. ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ කොදෙව් පිලට එරෙහිව කොදෙව් දූපත්හිදී තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව ද මෙය වීම එම වැදගත්කම වේ.

ශ්‍රී ලංකාව සහ කොදෙව් අතර මේ දක්වා පැවැති ටෙස්ට් තරග 17 න් ශ්‍රී ලංකාව තරග 8 ක් ජය ලබා ඇති අතර කොදෙව්වෝ තරග 3 ක් පමණක් ජය ලබා තිබේ.

ටි‍්‍රනිඩෑඩ්හි ක්වීන්ස් පාක් ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘සෝබර්ස් -x තිසේරා’ කුසලාන පළමු තරගයේ දෙවැනි දිනය වූ පසුගිය බ‍්‍රහස්පතින්දා ක‍්‍රීඩාව අවසන් කරන විට ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 31 ක් රැස්කර සිටියේය.

කොදෙව් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 414 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. 

එහිදී ෂේන් ඩව්රිච් නොදැවී ලකුණු 125 ක් රැස්කිරීම තීරණාත්මක සාධකය බවට පත්විය.  

එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 147 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුවද ෂේන් ඩව්රිච් සහ නායක ජේසන් හෝල්ඩර් හයවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 90 ක සම්බන්ධතාව නිසා කොදෙව් පිල හිස එසවීය. 

වේග පන්දු යවන ළහිරු කුමාර එහිදී කඩුලු හතරක් දවා ගනිමින් කොදෙව් පිතිකරුවන්ට පීඩනය යොමු කිරීමට සමත් විය. කොදෙව් පිල ලකුණු 300 කට යෑමට පෙර නැවැත්තුවේ නම් පීඩනය යොමු කිරීමට අවස්ථාව තිබුණි. 
එසේම ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරුවන් හැකි උපරිමයෙන් හිස පහතට දමා ලකුණු රැස්කිරීම ද වඩාත් වැදගත්වනු ඇත.  
ශ්‍රී ලංකාව නිත්‍ය පිතිකරුවන් හය දෙනකුගෙන් පමණක් සන්නද්ධව සටනට පිවිසීම තරමක අවදානමක් ගැනීමකි. මෙහිදී ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ රොෂේන් සිල්වාට විශේෂ වගකීමක් පැවරෙනවාට සැක නැත. 
කෙසේ වෙතත් කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් දැවී ගොස් අවසන්ව තිබුණි.  

පිතිකරුවන්ට සහයෝගයක් නොදක්වන බවට ඉතිහාසය සාක්‍ෂි දරන ක්වීන්ස් පාක් තණ තීරුවේ සටනට සුරංග ලක්මාල්, ළහිරු ගමගේ සහ ළහිරු කුමාර යන වේගපන්දු යවන්නෝ කැඳවා සිටිති.

ජ්‍යෙෂ්ඨතම දඟ පන්දු යවන්නන් දෙපළ වන රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා මත ද දැඩි වගකීමක් පැවරී තිබේ. ඩිල්රුවන් තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

♦ යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00