2018 ජුනි 09 වන සෙනසුරාදා

“ශ්‍රී ලංකා ඔලිම්පියන්ස්”ට ඔලිම්පික් ලාංඡනය තහනම්

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ජීවිතයේ සියලුම කැපකිරීම් කරමින් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලවලදී ශ්‍රී ලංකා නාමය බැබළ වූ ඔපිම්පික් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ‘ඔලිම්පික් ලාංඡනය’ තහනම් කිරීම සාධාරණව හිතන කිසිදු පුද්ගලයකු අනුමත නොකරනු ඇත. එය එසේ වුවද ශ්‍රී ලාංකීය ඔලිම්පික් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට තමන් සංවිධානය කරන වැඩසටහනකදී ඔලිම්පික් ලාංඡනය භාවිතා කිරීම තහනම් කර ඇති බව දැනගන්නට තිබේ.

දමයන්ති දර්ශා, ශ්‍රියානි කුලවංශ, සුගත් තිලකරත්න සහ ජුලියන් බෝලින් ක‍්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව ලෝකයට ගෙන සුපිරි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් යැයි කිවහොත් එහි විවාදයක් නැත. එම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළු එදා මෙදා තුර ශ්‍රී ලංකා ධජය යටතේ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ එකතුව ‘ශ්‍රී ලංකා ඔලිම්පියන්ස්’ ලෙස පසුගිය වසරේ ජූලි මස සංගමයක් ස්ථාපිත කළහ.

එම සංගමය ජාත්‍යන්තර ඔලිම්පික් දින යෙදී ඇති මේ මස 23 වැනිදා සැමරීම වෙනුවෙන් මේ මස 22 වැනිදා මහනුවරදී ‘ඔලිම්පියන්ස් රන්’ ලෙස ධාවනයක් සංවිධානය කර තිබේ. එම සංගමයේ මූලික අරමුණ බවට පත්ව ඇත්තේ සිය සංගමයේ සාමාජිකයන්ගේ සුබ සාධනය සහ ශ්‍රී ලංකාවට අනාගතයේ දක්‍ෂ ක‍්‍රීඩකයන් බිහිකිරීමට දායක වීමයි. සැබැවින්ම මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සංගමයක් ඔස්සේ මුදුන් වීමේ අවශ්‍යතාවක් නොමැත. මේ සියලු දෙනාම ඔවුන්ගේ ජීවිතයේ වඩාත් ස්වර්ණමය යුගය වන තරුණ කාලයේ බැබළුණු පුද්ගලයෝ වෙති.

මහද්වීප පහ විදහා දක්වන වළලූ පහකින් සමන්විත ඔලිම්පික් ලාංඡනයේ නීතිමය හිමිකම අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. එහි ශ්‍රී ලංකාවේ නීතිමය හිමිකම ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට හිමිවේ. ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාවට සම්බන්ධ ඉහළම ආයතනයක් කෙනහිළිකම් කරද්දී එම සංගමයට විවිධ පාර්ශවලින් සහයෝගය දීමට ඉදිරිපත් වී සිටියි. ඒ අතරට වෛද්‍යවරු, නීතිඥයන්, ව්‍යාපාරිකයන්, දේශපාලඥයන් ඇතුළත් වේ. එම ඉහළ ආයතනයට බියක් දක්වන්නේ යැයි කියන ඇතැම් ඔලිම්පික් ක‍්‍රීඩකයන් ද ඔලිම්පියන්ස් ධාවනයේ කටයුතු මඟ හරින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ සභාපතිනි පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කම ලාභිනී ශ්‍රීයානි කුලවංශ මහත්මිය පැවසුවේ ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් එකතු කිරීමට දැඩි වෙහෙසක් ගත් බවයි.

“අපි ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාව වෙනුවෙන් සේවයක් කරන්නයි ස්වෙච්ඡාවෙන් එකතුවෙලා ඉන්නේ. අපිටත් වැය කරන්න කාලය නෑ. නමුත් අපි ජීවත්වෙලා ඉඳිද්දී අපේ රට ඔලිම්පික් පදක්කම් කීපයක් දිනනවා බලන්න අශාවක් තියෙනවා. අපිට ‘ඔලිම්පියන්ස් රන්’ වැඩසටහන ක‍්‍රියාත්මක කරද්දී අනුග‍්‍රහකයෝ පිළිබඳ ප‍්‍රශ්න තියෙනවා. නමුත් අපි හැකි අයුරින් ක‍්‍රියාත්මක වෙනවා.”

කෙසේ වෙතත් එම සංගමයද මේ වනවිට අනුග‍්‍රහකයන් සම්බන්ධ ගැටලුවලට මුහුණ දී සිටියි. ඔවුන්ට කෘතගුණ දැක්වීමට ශ්‍රී ලාංකීය ජනතාවට මෙය හොඳ අවස්ථාවක් බවට පත්ව තිබේ. 

♦ යොහාන් භාසුර
    ඡායාරූපය: චතුර එස්. කොඩිකාර