2018 ජුනි 02 වන සෙනසුරාදා

ක්‍රිකට් නිසිබලධාරි යටතට

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

“ඔය නිලවරණය තියන්නේ නෑ. දවසකට හරි අතුරු කමිටුවක් පත්කරන්න වෙනවා” මෙය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය නිවේදනය කළ දිනයේ සිට බොහෝ දෙනකු කළ ප‍්‍රකාශයකි. එම ප‍්‍රකාශයේ අඩක් සැබෑ කරමින් මැයි මස 19 වැනිදා පැවැත්වීමට යොදාගෙන තිබූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය 31 වැනිදා දක්වා කල්දැමීමට සිදුවිය. මෙම සටහන තබන මොහොත වනවිට එම ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම සැබෑ වී තිබුණි.

නිලවරණය පැවැත්වීමට පැය 24 කටත් අඩු කාලයක් තිබියදී පසුගිය බදාදා එනම් 30 වැනිදා පස්වරු 4.30 ට පමණ අභියාචනා අධිකරණය නිලවරණය පැවැත්වීම අත්හිටුවූ අතර නඩු විභාගය මේ මස 14 වැනිදාට කල්දැමීය. අභියාචනා අධිකරණයේදී පැමිණිල්ල සලකා බැලීම පෙරවරු 11.00 ට ආරම්භ වූ අතර පස්වරු 4.30 ට පමණ අවසන් වී තිබේ. එම නියෝගයත් සමඟ පසුගිය බ‍්‍රහස්පතින්දා නිලවරණය පැවැත්වීමට නොහැකි වූ අතර ඒ අනුව ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට ක‍්‍රිකට් පරිපාලනයේ වගකීම සියතට ගැනීමට සිදුවිය. 

ඒ අනුව ක‍්‍රීඩා අමාත්‍යවරයා පසුගිය බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් පරිපාලනය විසුරැවා හරිමින් ක‍්‍රීඩා අමාත්‍ය ලේකම් කමල් පත්මසිරි මහතා නිසි බලධාරියා ලෙස පත්කළේය. මෙම පත්කිරීම ද අතුරු කමිටුවකට සමාන වන අතර ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සතු සියලුම බලතල නිසි බලධාරියාට හිමිවේ. 

එදින රාත‍්‍රී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසුවේ තමන්ට අතුරු කමිටුවක් පත්කිරීමේ බලයක් නොමැති බවත් නීතිපතිවරයාගේ උපදෙස් අනුව නිසි බලධාරියකු පත්කළ බවත් මෙම තීරණය පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කළ බව ද ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසීය. මෙම විශේෂ මාධ්‍ය හමුව රාත‍්‍රී 7.00ට පැවැත්වීමට හේතු වූයේද ක‍්‍රීඩා අමාත්‍යවරයාට ජනාධිපතිවරයා මුණගැසීමේ වේලාව එදින පස්වරු 5.30ට ලැබී තිබීම බවද වාර්තා වේ.

ක‍්‍රීඩා අමාත්‍යවරයා පසුගිය බදාදා පැවසුවේ ක‍්‍රිකට් ආයතනය පිළිබඳව තීරණ ගැනීමේදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බවයි.

“මම තවම ඒ තීන්දුව බැලුවේ නෑ. ඒ තීන්දුව පරීක්‍ෂා කරලා. මම ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරනවා. හේතුව එතුමා තමයි මාව ක‍්‍රීඩා ඇමති හැටියට පත්කළේ. මම  ඕනෑම තීන්දු තීරණ ගන්නේ එතුමාත් සමඟ සාකච්ඡා කරලා. ඒ නිසා රටට සරිලන තීන්දුවක් මම ගන්නවා” යැයි ක‍්‍රීඩා ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලෙක්ම්වරයකු මෙන්ම පසුගිය නිලවරණයේදී සභාපති ධූරයට තරග කළ නිශාන්ත රණතුංග මහතා අභියාචනා අධිකරණයට ගොනුකළ පෙත්සමක් සලකා බලමින් අධිකරණ එම තීරණය ගෙන තිබුණි.
එහිදී නිශාන්ත රණතුංග මහතා වර්තමාන සහභාගි තිලංග සුමතිපාල මහතා සභාපති ධූරයට තරග කිරීමෙන් ක‍්‍රීඩා නීතිය මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවද උල්ලංඝනය වන බව ඉදිරිපත්කර ඇති බවත් ඊට අමතරව ක‍්‍රිකට් ආයතනය විශේෂ මහා සභාවක් පවත්වා පත්කළ නිලවරණ කමිටුව නීති විරෝධී බවත් කරුණු ගොනුකර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඡන්ද හිමි ක‍්‍රීඩා සමාජයක් වන මෝදර ක‍්‍රීඩා සමාජයද නිලවරණ පටිපාටිය පිළිබඳව සෑහීමට පත්විය නොහැකි බවට අධිකරණයට කරුණු දක්වා තිබුණි.

මෝදර ක‍්‍රීඩා සමාජය අධිකරණයට යෑම සෙසු පාර්ශව අධෛර්යයට පත්කිරීමට කළ ඇස්බැන්දුමක් ලෙස ද ඇතැම්හු පවසති. මෝදර ක‍්‍රීඩා සමාජය තිලංග සුමතිපාල මහතාට පක්‍ෂපාති ක‍්‍රීඩා සමාජයක් බවත් මෙය නොමඟ යෑමක් බවත් ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ.

ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා දිගින් දිගටම පැවසුවේ මූල්‍ය චෝදනාවක් හැරෙන්නට තමන් අතුරු කමිටු පත් නොකරන බවයි. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් පැවැති පාලනයම අතුරු කමිටුව ලෙස පත්කරන බව ක‍්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර අවස්ථා කීපයකදීම ප‍්‍රකාශ කර තිබුණි. ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවැති පාලනයම අතුරු කමිටුව ලෙස පත්කළ හොත් ඒ පිළිබඳවද අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බව ‘තිලංග’ පාර්ශවයට ප‍්‍රතිවිරුද්ධ පාර්ශව පවසන බව වාර්තා වේ.

♦ යොහාන් භාසුර