2018 ජුනි 02 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා ක්‍රිකට් කැළඹූ ගාලු ක්‍රිකට් පාවාදීම

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පසුගිය සතිය ආරම්භයත් සමඟ මුදලට තරග පාවාදීමට සූදානම් වූයේ යැයි කියන සිද්ධීන් දෙකක් සමඟ ගිනියම් වී තිබුණි. එම උණුසුම මෙම සටහන තබන මොහොත දක්වාම නොවෙනස්ව පැවතුණි. 

දේශපාලන, යුද, මූල්‍ය සහ ක‍්‍රීඩා විවාදාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීමට නම් දරා සිටින රූපවාහිනි නාලිකාවක් වන අල් ජසීරා නාලිකාව පසුගිය ඉරිදා විකාශය කළ මුදලට තරග පාවාදීමේ සිද්ධීන් ඇතුළත් වැඩසටහනට ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ සිද්ධියක් සහ හිටපු ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් දෙපළක් ඇතුළත් සිද්ධියක් ඇතුළත් වීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත විය.

මෙම සිද්ධියට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන හිටපු ජාතික මට්ටමේ ක‍්‍රීඩකයන් වන ජීවන්ත කුලතුංග, දිල්හාර ලොකුහෙට්ටිගේ, හිටපු අන්තර් සමාජ මට්ටමේ ප‍්‍රබල ක‍්‍රීඩකයකු වන තරිඳු මෙන්ඩිස් සහ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ සහාය කළමනාකරුවකු වන තරංග ඉන්දික යන පුද්ගලයන් සම්බන්ධව සිටීම වඩාත් බරපතළ තත්ත්වයක් බවට පත්ව තිබේ.

මෙහිදී තරිඳු මෙන්ඩිස් සහ තරංග ඉන්දික යන දෙපළ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ තණතීරුව ඔට්ටු තබන්නන්ගේ  ඕනෑ එපාකම්වලට සකස් කිරීමට සූදානම් වූයේ යැයි අල් ජසීරා නාලිකාවෙන් ප්‍රකාශ විය. ජාතික කණ්ඩායමේ වර්තමානයේ ද ක‍්‍රීඩා කරන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකුගේ වැඩිමහල් සොහොයුරා වන තරිඳු මෙන්ඩිස් මෙම සිද්ධියට සම්බන්ධ වනවිට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දිස්ත‍්‍රික් පුහුණුකරුවකු ලෙසද සේවය කළේය.

අන්තර් සමාජ මට්ටමේ හිටපු ක‍්‍රීඩකයකු වන තරංග ඉන්දික මෙම සිද්ධිය වනවිට ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ සහාය කළමනාකරුවෙකි. එහිදී තරංග ඉන්දික, ගාල්ල ක‍්‍රීඩාංගණයේ තණතීරු සකසන්නා ලෙස පෙනී සිටිමින් ඔට්ටුකරුවන්ට අවශ්‍ය ආකාරයට තණතීරැව සකස් කළ හැකි බවට පවසන ආකාරය රූපවාහිනී වැඩසටහනේ පැහැදිලිව දැකගත හැකිය. තරිඳු මෙන්ඩිස් එම ව්‍යාපෘතියේ සම්බන්ධිකාර ලෙස තරංග ඉන්දික සිංහලෙන් කළ ප‍්‍රකාශ විදේශිකයන් දෙපළට ඉංග‍්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ආකාරය රූපවාහිනී වැඩසටහනෙන් දැකගත හැකිවිය.

එහිදී තමන් මීට පෙරද කිසියම් පුද්ගලයකුට අවශ්‍ය ආකාරයට තණතීරු සකස් කර ඇති බවත් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 2016 වසරේ ජනවාරි මස ගාල්ල ක‍්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගය දින දෙකහමාරකින් අවසන් වන ආකාරයට ක‍්‍රීඩාංගණය සකස් කළේද තමන් බවත් එහිදී තරංග ප‍්‍රකාශ කරන ආකාරය ආසන්නට ලැබුණි. 

මෙම තරගය 2016 වසරේ අගෝස්තු මස 4 වැනිදා ආරම්භ වී තෙවැනි දිනයේ එනම් 6 වැනිදා අවසන් වූයේ ශ්‍රී ලංකාව ලකුණු 229 කින් ජය ලබමිනි. එහිදී ශ්‍රී ලංකා පිලේ දඟපන්දු යවන්නන් වන ඩිල්රුවන් පෙරේරා කඩුලු 10 ක් සහ රංගන හේරත් කඩුලු 6 ක් දවාගෙන තිබේ. ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්න ක‍්‍රීඩක මිචෙල් ස්ටාක් ඉනිම දෙකේදී කඩුලු 11 ක් දවාගෙන තිබුණි.

කෙසේ වෙතත් ගාල්ල ක‍්‍රීඩාංගණයේ තණතීරැව පාවාදීමට උත්සහ කළ බවට පළවූ රූපවාහිනී වැඩසහටනේදී කිසියම් පුද්ගලයකු  ඕස්ට්‍රේලියානු තරගය දින දෙක හාමාරෙන් අවසන් කිරීම තමන් කළ කාර්යයක් බවට ප්‍රකාශ කර තිබිණි.
අල් ජසීරා වාර්තා වැඩසටහනේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී 2017 වසරේ පැවැති තරගය සම්බන්ධයෙන් ද කියවේ. මෙහිදී මෙම වසරේ එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගයේදීද ඔට්ටුකරුවන්ගේ අභිමතය පරිදි තණතීරුව සකස් කිරීමේ සැලසුමක් ඇති බවට චෝදනා එල්ල වේ.  

මෙහි දෙවැනි සිද්ධියට ජාතික කණ්ඩායම නියෝජනය කළ දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංග සම්බන්ධ බවට චෝදනා එල්ල විය. ජීවන්තට මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වනවිට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ බස්නාහිර පළාත් පුහුණුකරුවකු ලෙස සේවය කරමින් සිටියේය. ජීවන්ත ඊට පෙර ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙසද සේවය කළේය. දිල්හාර ලොකුහෙට්ටිගේ වර්තමානයේ  ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවකු බව පැවසේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයද මෙම සිද්ධියත් සමඟ සසල වී සිටි අතර එහි බලධාරීන් පසුගිය සතියේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යටතේ සේවය කරන ජීවන්ත, තරිඳු සහ තරංගගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවරගත් බවයි. එහිදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති මොහාන් ද සිල්වා මහතා පැවසුවේ ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගයේ තණතීරුව පිළිබඳව එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි. 

♦ වරකාගොඩ ගමගේ