2018 ජුනි 02 වන සෙනසුරාදා

ක්‍රිකට් ආයතනයේ පෙරළි මැද කොදෙව් තරග ඇරැඹෙයි

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය තුළ වර්තමානයේ උද්ගත වී ඇති ව්‍යාකූල තත්ත්වය බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලට කිසියම් අයහපත් බලපෑමක් කරනු ඇතැයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ සමහරු කියති.

කෙසේ වෙතත් එවැනි බලපෑමක් නොවනු ඇති බවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් ‘දේශය’ට පැවසීය. 
“ඉදිරියේදී නිලධාරී මණ්ඩලය නොමැති වෙන්න පුළුවන්. නමුත් කණ්ඩායමේ කටයුතු සොයා බැලීම අපට පැවරිලා තියෙන වගකීමක්. අපි ඒ වගකීම ඉටු කරනවා” යැයි ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

මෙම සංචාරය සංවිධානය කිරීම සඳහා කොදෙව් ක‍්‍රිකට් පාලක මණ්ඩලයට මුදල් නොමැතිව සංචාරය අවලංගු කිරීමට පවා සිදුවනු ඇතැයි පසුගිය මාසය ආරම්භයේදී වාර්තා පළවිය. 

එම තත්ත්වය තුළ ශ්‍රී ලංකා පිලට කිසියම් අපහසුතාවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට සැකයක් ඇති බව නම් පැහැදිළිය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ කිසියම් ප‍්‍රශ්නයක් ඇතිවුවහොත් ඒ සඳහා විකල්පයක් ලෙස කළමනාකරු සූදානම් කර යැවූ බවයි.

“තරගාවලියට පිටත්ව යෑමට පෙර අපි කළමනාකරු සූදානම් කර යැව්වා. අපි හිතන්නෙ නෑ එහෙම දෙයක් වෙයි කියලා. නමුත් සූදානම් කළා” යැයි එහිදී ප‍්‍රධාන විධායක නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

එහිදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කණ්ඩායමට කිසියම් ප‍්‍රශ්නයක් ඇතිවුවහොත් ඒ සඳහා මුහුණදීමට කළමනාකරුට වැඩි මුදල් ප‍්‍රමාණයක් ලබාදී තිබේ.

ශ්‍රී ලංකා පිල පසුගිය බදාදා බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිලට එරෙහිව පුහුණු තුන් දින තරගය ආරම්භ කළ අතර එහිදී ශ්‍රී ලංකා පිතිකරුවෝ හොඳ ආරම්භයක් ලබාගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිල පළමු දිනය අවසන් වන විට කඩලු හයක් දැවී ලකුණු 318 ක් රැස්කර සිටියේය. එහිදී නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 108 ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 65 ක් රැස්කිරීමට සමත් වූහ.

ආබාධයකට ලක්ව සිට නැවතත් ටෙස්ට් පිලට එකතු වූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම ඉනිමේදී ලකුණු 41 ක් රැස්කර තිබුණි. 

පියාගේ අභාවය හේතුවෙන් සංචාරයෙන් ඉවත් වූ ධනංජය ද සිල්වා මෙම සටහන තබන මොහොත දක්වා මෙරට රැඳී සිටින අතර ඔහු කොදෙව් බලා පිටත්ව යන දිනයක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ද දැනුම්දී නොමැති බව වාර්තා වේ. 
තරග තුනකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ට්‍රිනිඩෑඩ්හිදී ලබන බදාදා (6 වැනිදා) ආරම්භ වීමට නියමිතව තිබුණි. 

♦ යොහාන් භාසුර