2018 මැයි 26 වන සෙනසුරාදා

ක්‍රිකට් ක්‍රීඩක දීමනා වැඩිකිරීම ඇස්බැන්දුමක්!

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත‍්‍රාත් දීමනාව 34%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය පසුගිය සතියේ පියවර ගත්තේය. දීමනාව වැඩි කරමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් පැවසුවේ ක‍්‍රීඩකයන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය වසරේ ලැබූ දැවැන්ත ලාභයේ කොටස්කරුවන් වීම නිසා එම වැඩි කිරීම කළ බවයි. කෙසේ වෙතත් ක‍්‍රීඩකයන්ගේ පැත්තෙන් දැනගන්නට ඇත්තේ මෙම වැඩි කිරීම තුළ කිසියම් ව්‍යාකූලකමක් පවතින බවයි.

මීට පෙර වර්ෂවල ක‍්‍රීඩකයකු ‘ඒ’ කාණ්ඩයට ඇතුළත්ව සිටින්නේ නම් එම කාණ්ඩයේ සියලුම ක‍්‍රීඩකයන්ට සමාන මුදලක් හිමිවේ. නමුත් මෙවර එකම කාණ්ඩයේ වුවද ලැබෙන මුදල වෙනස් වන බව නිලධාරියෙක් පැවසීය. දීමනාව පෙර වර්ෂයේ කපා දමා මෙම වර්ෂයේ වැඩි කළ බව පවසන බව ද ඇතැම් නිලධාරිහු චෝදනා කරති. ඇතැම් ක‍්‍රීඩකයන්ට දීමනාව වැඩි කිරීමෙන් පසුව ද පෙර වර්ෂයේ කපා දැමූ ප‍්‍රමාණය ආවරණය වී නොමැති බව කියති.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ක‍්‍රීඩකයාගෙන් ක‍්‍රීඩකයාට ඔහුන් ක‍්‍රීඩා කරන තරග අනුව වැටුප වෙනස් වන බවයි. කෙසේ වෙතත් ක‍්‍රීඩකයන්ගේ දීමනා ඉහළ දැමීම වඩාත් කාලෝචිත තීරණයකි.

ටෙස්ට්, එක්දින සහ විස්සයි20 යන තරගවලදී පිරිනමන දීමනාව ද ඉහළ දැමීමට ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණි. මෙම වසරේදී ක‍්‍රීඩකයන් 33 දෙනෙක් ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’ සහ ප‍්‍රීමියර් ලෙස කාණ්ඩ පහක් යටතේ ගිවිසුමට එළඹ සිටිති. 
ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, සුරංග ලක්මාල් සහ දිමුත් කරුණාරත්න ‘ඒ’ කාණ්ඩයට ද, උපුල් තරංග සහ ඩිල්රුවන් පෙරේරා ‘බී’ කාණ්ඩයට ද ඇතුළත් වෙති. 

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා සහ තිසර පෙරේරා ‘සී’ කාණ්ඩයට ද, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක සහ නුවන් ප‍්‍රදීප් ‘බී’ කාණ්ඩයට ද ඇතුළත්ව සිටිති. 
ප‍්‍රීමියර් කාණ්ඩයට සදීර සමරවික‍්‍රම, රොෂේන් සිල්වා, ළහිරු තිරිමාන්න, ළහිරු ගමගේ, විශ්ව ප‍්‍රනාන්දු, ලක්‍ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩසේ, දසුන් ශානක, කෞෂාල් සිල්වා, ෂෙහාන් මධුසංඛ, ළහිරු කුමාර, මාලින්ද පුෂ්පකුමාර, අමිල අපෝන්සු, වනිඳු හසරංග, ඉසුරු උදාන සහ ඩිල්ෂාන් මුණවීර ඇතුළත්ව සිටිති.

මෙම ලැයිස්තුවෙන් මිලින්ද සිරිවර්ධන වැනි දස්කම් අතර සිටින ක‍්‍රීඩකයන් කපා හැර ඇති අතර ළහිරු තිරිමාන්න කිසිදු සංචිතය නොසිටිය ද වාර්ෂික ගිවිසුමට ඇතුළත්ව සිටියි. ඩිල්ෂාන් මුණවීරට ද වාර්ෂිත කොන්ත‍්‍රාත්තුව හිමිව තිබේ. 
ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය පසුගිය සතියේ මුල වනවිට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබුණ ද මේ වන විට සංචාරය ස්ථාවර වී තිබේ. ටෙස්ට් තරග තුනකින් සමන්විත සංචාරය ටෙස්ට් තරග දෙකකට අඩු කිරීමට සූදානම් වුවද එය මඟ හැරැණි. බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක‍්‍රිකට් පාලක මණ්ඩලය මුහුණ දී සිටින දැඩි මූල්‍ය අර්බුදය මෙම සංචාරය වැට උඩට වැටීමට හේතුව බවට පත්විය. කොදෙව් ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධානියා පසුගිය සතිය මුලදී පවසා තිබුණේ ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ තරග සංඛ්‍යාවේ වෙනසක් නොවන බවයි.

ආබාධයන්ට ලක්ව සුව ලබා ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ගැටලුවකට මුහුණදී සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් කොදෙව් සංචාරයට සහභාගි වීම මේ වනවිට ස්ථිර වී තිබේ. ශ්‍රී ලංකා පිල මෙම 26 වැනිදා කොදෙව් දූපත් බලා පිටත්ව යෑමට නියමිතව තිබූ අතර මේ මස 30 වැනිදා පුහුණු තුන්දින තරගය ආරම්භ වීමට නියමිතය. 

♦ වරකාගොඩ ගමගේ