2018 මැයි 19 වන සෙනසුරාදා

කොදෙව් සංචාරයෙන් කෞෂාල් කපා දමයි

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 320

කෞෂාල් සිල්වා, ශ්‍රී ලංකාව සතු අත්දැකීම් ඇති ආරම්භක පිතිකරුවෙකි. කෞෂාල් ටෙස්ට් තරග 37කට ක‍්‍රීඩා කර තිබුණද එක්දින හෝ විස්සයි20 අන්තර්ජාතික වරම් ලබා නොමැත. එයින් පැහැදිලි වන්නේ ඔහු ටෙස්ට් ක‍්‍රිකට් විශේෂඥයකු බවයි. ශ‍්‍රී ලංකාව සතු ක‍්‍රිකට් සම්පත් උපරිමයෙන් ප‍්‍රයෝජනයට නොගත් අවස්ථා පසුගිය වසර කීපයෙන් උදාහරණ ලෙස  ඕනෑ තරම් ඉදිරිපත් කළ හැකිය. එවැනි බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකා පිල අසාර්ථක වූ අතර වර්තමාන කඩා වැටීමට ‘සම්පත් ඌන ප‍්‍රයෝජනය’ මහා පොදු සාධකය බවට පත්විය.  

එළඹෙන කොදෙව් ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් ගෙදර තබා නවකයන් ඇතුළත් සංචිතයක් පිටත්ව යෑමට නියමිතය. කොදෙව් පිල වර්තමානයේ තරමක් දුර්වල වුවද ඔවුහු තම රටේදී ශක්තිවන්තයෝ වෙති. ටෙස්ට් කණ්ඩායමක ආරම්භක පිතිකරු යුගළය වඩාත් තීරණාත්මක බව අමුතුවෙන් කිවයුතු නැත. ආරම්භක පිතිකරුවන් අත්දැකීම් ඇති යුගළක් වීම ටෙස්ට් තරගයක වාසිය අත්පත්කර ගැනීමට වඩාත් ප‍්‍රයෝජනවත් වේ. 
දිමුත් කරුණාරත්න වසර පහකට අධික කාලයක් ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු ලෙස අඛණ්ඩව ක‍්‍රීඩා කළේය. ඔහු මේ වනවිට ටෙස්ට් තරග 49 කට ක‍්‍රීඩා කර අත්දැකීම් සමුදායක් ගබඩා කරගෙන තිබේ. අන්තර් පළාත් තරගාවලිය අතරතුරදී දිමුත් තුවාල ලැබීම නිසා ඔහුට කොදෙව් සංචාරය අහිමි වේ. දිමුත් නොමැති නම් ආරම්භක පිතිකරු ස්ථානයේ දෙවැනියට අත්දැකීම් ඇති ආරම්භක පිතිකරු වන්නේ කෞෂාල් සිල්වාය. එය එසේ වුවද කෞෂාල් මෙම සංචිතයට ඇතුළත්ව නැත. ඔහු වෙනුවට ටෙස්ට් වරම් නොලැබූ මහේල උඩවත්ත ආරම්භක පිතිකරුවකු ලෙස ටෙස්ට් සංචිතයට ඇතුළත් කර තිබේ. උඩවත්ත පළාත් තරගාවලියේ දැක්වූ දස්කම් පිළිබඳව අවධානය යොමුකර මෙම අවස්ථාව ලබාදී තිබේ.

කොදෙව් සංචාරයේ තරග ‘ඩියුක්’ පන්දුවෙන් පැවැත්වෙන අතර එයට ‘රෝස’ පැහැති පන්දුවෙන් පැවැත්වෙන දිවා රාත‍්‍රී ටෙස්ට් තරගයක් ද ඇතුළත්ව තිබේ. කෞෂාල් වර්තමාන ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවෙන් පිටත වැඩි ටෙස්ට් තරග සංඛ්‍යාවකට සහභාගි වී ඇති ආරම්භක පිතිකරු මෙන්ම ‘ඩියුක්’ පන්දුවෙන් වැඩිම අත්දැකීම් ඇති ආරම්භක පිතිකරුද වේ. කෞෂාල් 2016 වසරේ එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී අර්ධ ශතක හතරක් රැස්කරමින් එම තරගාවලියේ ශ්‍රී ලංකාවේ වීරයා ලෙසද සම්මාන ලැබීය. ඔහු ටෙස්ට් තරගවලදී පිතිකරු ආසන්නයේ පන්දු රැකීමේ විශේෂ දක්‍ෂතාවක් දැක්වමින් තරග වෙනස් කළ ක‍්‍රීඩකයකු බව මෙහිදී තේරීම් කමිටුවට අමතක වීම කණගාටුවට කරුණකි. 

කෞෂාල් වැනි පිතිකරුවකු පළාත් තරගාවලියේ ඉනිම හතකදී යම් පසුබෑමකට ලක්වීම හුවාදක්වමින් මෙවැනි ප‍්‍රධාන තරගාවලියකින් ඉවත් කිරීමට ග‍්‍රැහැම් ලැබ්රෝයි සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. කෞෂාල් පළාත් තරග තුන ඇතුළත්ව සිය අවසන් තරග නවයේ ඉනිම 12 කදී ලකුණු 733 ක් රැස්කරමින් ලකුණු 73.30 ක සාමාන්‍යයක් පවත්වා ගැනීමට සමත්ව සිටියි. එයට බ්ලූම්ෆීල්ඩ් පිලට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 202 ක් සමඟින් ශතක දෙකක් සහ අර්ධ ශතකයක් ඇතුළත් වේ.

මහේල උඩවත්ත, කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා යන තිදෙනාගෙන් දෙදෙනකු ඉනිම ආරම්භ කිරීමට නියමිතය. ධනංජය ද සිල්වා සුපුරුදු පරිදි අංක තුන ස්ථානයේ පන්දුවට පහර දෙනු ඇත. ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වන එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ටෙස්ට් පිලේ උප නායක සුරංග ලක්මාල් කොදෙව් සංචාරයට පිටත්ව යෑම මෙම සටහන තබන මොහොත වනවිටත් අවිනිශ්චිත තත්ත්වයක පැවතුණි. ආබාධයන්ට ලක්ව සිටි එම දෙපළගේ සහභාගිත්වය ශාරීරික යෝග්‍යතාව මත තීරණය වේ. ඇන්ජලෝ මැතිව්ස්ට තරගාවලිය අහිමිවුවහොත් නායක දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ එකම අත්දැකීම් ඇති පිතිකරු බවට පත්වේ. 

කෝඩුකාර වේගපන්දු යවන්නන් වන කසුන් රාජිත සහ අසිත ප‍්‍රනාන්දු මෙම සංචිතයට ඇතුළත්ව සිටිති. දකුණතින් පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ ද සංචාරයට එකතු වී සිටියි. ටෙස්ට් පිටියට කෝඩුකාරයන්ගෙන් කොදෙව් පිලට අභියෝගයක් යොමු කිරීමට හැකි වේදැයි බලාසිටිය යුතුය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
දිනේෂ් චන්දිමාල් (නායක), මහේල උඩවත්ත, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, ඇන්ජලෝ මැතිව්ස් (ශාරීරික යෝග්‍යතාව මත), නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ළහිරු ගමගේ, කසුන් රාජිත, සුරංග ලක්මාල් (ශාරීරික යෝග්‍යතාව මත), ළහිරු කුමාර සහ අසිත ප‍්‍රනාන්දු 

♦ සටහන: යොහාන් භාසුර