2018 මැයි 12 වන සෙනසුරාදා

ක්‍රිකට් නිලවරණ කමිටුවට තටු දෙන්න මෙහෙයුමක්

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විශේෂ මහ සභා රැස්වීම ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතය. එම රැස්වීම වඩාත් උණුසුම් එකක් වනු ඇති බවට පසුගිය සතිය වන විට ඉඟි පළවී තිබුණි. මෙහි ප‍්‍රධානතම කරුණ බවට පත්ව ඇත්තේ ඉදිරි ක‍්‍රිකට් නිලවරණය සඳහා නිලවරණ කමිටුව පත්කර ගැනීමය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් වර්තමාන විධායක කමිටුව විසින් පත්කරගන්නා ලද නිලවරණ කමිටුව නීති විරෝධී යැයි ක‍්‍රීඩා අමාත්‍යවරයා තීරණය කිරීමත් සමඟ නව කමිටුවක් පත්කරගැනීමේ අවශ්‍යතාව නිර්මාණය විය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ‘සුමතිපාල’ පාර්ශවය නීතිඥ රසික වීරතුංග මහතාගේ සභාපතිත්වයෙන් පැවැති නිලවරණ කමිටුව නැවත සාමාජිකයන්ගේ අනුමැතියට යොමු කිරීමට සූදානම් වන බවය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවේ ප‍්‍රධාන නිලධාරියකු ‘දේශය’ කළ විමසුමකදී පැවසුවේ පැවැති නිලවරණ කමිටුවට සාමාජිකයන්ගේ අනුමැතිය ලබාගත් පසුව එය නිත්‍යනුකූල කමිටුවක් වන බවයි.

“පැවැති නිලවරණ කමිටුවේ සාමාජිකයන්ට කිසිදු චෝදනාවක් යොමු වුණේ නෑ. එහිදී කිව්වේ එම කමිටුව නිත්‍යනුකූලව පත්කරගෙන නැති කියන එක පමණයි. ඒ නිසා එම කමිටුවම ඉදිරිපත් කිරීමේ කිසිදු ගැටලුවක් නෑ. එම කමිටුව පත්කරගෙන ව්‍යවස්ථානුකූල කිරීම පමණයි කළ යුත්තේ. බොහෝ විට එම කමිටුවම ඉදිරිපත් වෙයි. අපි තවම අවසන් තීරණයකට එළඹිලා නෑ. එම කමිටුව පත්කළ යුත්තේ ස්වාධීන පුද්ගලයන්ගෙන්, ක‍්‍රිකට් ආයතනයේ සාමාජිකයන්ට එයට පත්වෙන්න බෑ” යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සාමාජික ක‍්‍රීඩා සමාජවලට පසුගිය සතියේ මුල වනවිටත් විශේෂ මහ සභාව පිළිබඳව ලිඛිතව දැනුම්දී තිබුණි. මෙම විශේෂ මහ සභාවට හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග සහ හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස යන මහත්වරුන්ද සහභාගි වීමට නියමිත බව දැනගන්නට තිබේ. ධර්මදාස මහතා වර්තමාන නිලධාරී මඩුල්ලට ඡන්දයෙන් උප සභාපති තනතුරට පත්වුවද ‘සුමතිපාල’ සහ ‘ජයන්ත’ පාර්ශවය අතර ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ඉල්ලා අස්විය.

ජයන්ත ධර්මදාස මහතාට මෙවර නිලවරණයේදී කිසිදු තනතුරකට තරග කිරීමේ අවස්ථාව ඇහිරී තිබේ. ජයන්ත මහතා පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩා කර නොතිබීම එයට හේතුවයි. ක‍්‍රීඩා පනතේ නව සංශෝධනයන්ට අනුව  ඕනෑම ක‍්‍රීඩා සංගමයක තනතුරකට පැමිණීමට නම් අදාළ පුද්ගලයා එම ක‍්‍රීඩාවේ ජාතික මට්ටමේ ක‍්‍රීඩා කළ යුතුව තිබේ. එය එසේ නම් ක‍්‍රිකට් ආයතනයේ විධායක සභාවට පත්වීමට නම් පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩා කළ යුතුව තිබේ. ජයන්ත ධර්මදාස මහතා වැනි පුද්ගලයන්ට ක‍්‍රිකට් පරිපාලනයට පැමිණීමට නොහැකි වන ලෙස මෙම නීති සකස්කර ඇති බවට ‘ජයන්ත’ පාර්ශවය චෝදනා කරයි. 

නිශාන්ත රණතුංග මහතා පසුගිය නිලවරණයේදී සභාපති ධූරයට තරග කර පරාජයට පත්වූ අතර ඒ මහතා මෙවරද සභාපති ධූරයට තරග කිරීමට නාමයෝජනා ද ඉදිරිපත්කර තිබේ. ‘රණතුංග’ පාර්ශවය විශේෂ මහ සභාවේදී නිලවරණ කමිටුවට නම් කීපයක් යෝජනා කිරීමට සූදානම්ව සිටින බව වාර්තා වේ. එය එසේ වුවහොත් නිලවරණ කමිටුව පත්කර ගැනීමට ඡන්දයක් පැවැත්වීමට සිදුවනු ඇත. එය එසේ වුවහොත් විශේෂ මහ සභාව උණුසුම්වනු ඇත. එම ඡන්ද විමසීම සාමාජිකයන්ගේ හැසිරීම පිළිබඳව අවබෝධයක් ලබාගැනීමේ අවස්ථාවක් බවට පත්කර ගැනීමට ‘රණතුංග’ පාර්ශවය සූදානම් වෙයි. 

නිලවරණයේදී ඡන්දය ලබා ගැනීමට සහ වර්තමාන පරිපාලනයට පක්‍ෂපාතී ඡන්ද වැළැක්වීමේ හරස් හමු කොළඹදී සහ පිටතදී මේ දිනවලට පැවැත්වෙන බව දැනගන්නට තිබේ. නිලවරණය කෙසේ වුවද නිලවරණ කමිටුව පත්කරගැනීමද සටනක් බවට පත්වනු ඇත.

♦ වරකාගොඩ ගමගේ

 

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00