2017 ජනවාරි 21 වන සෙනසුරාදා

රග්බි උප සභාපති ලසිත තරගාවලි කමිටුවෙන් අස්වෙයි - හේතුව ක්‍රීඩකයකුගේ ප්‍රශ්නයක්

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

අන්තර් සමාජ පළමු කොටසේ තරගාවලියේ ක‍්‍රීඩකයකු සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් ශ්‍රී ලංකා රග්බි සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න මහතා එහි තරගාවලි කමිටුවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. සී. ආර්. පිලේ වසර දෙකක ගිවිසුම්ගත ක‍්‍රීඩකයකු යැයි කියන ජේසන් දිසානායකට මහනුවර පිලට ක‍්‍රීඩා කිරීමට අවසර නොදීම එම ඉල්ලා අස්වීමට ප‍්‍රධාන හේතුව බවට පත්ව ඇති බව වාර්තා වේ.

මහනුවර ක‍්‍රීඩා සමාජයට සම්බන්ධ ප‍්‍රධානියකුගේ බලපෑම මත මෙම ඉල්ලා අස්වීම සිදුවී ඇතැයි රග්බි ක්ෂේත‍්‍රයේ කථා බහට ලක්ව තිබේ. ජේසන් දිසානායක මෙම වසරේ මහනුවර පිලට ක‍්‍රීඩා කළ හැකි යැයි සී. ආර්. පිලෙන් අවසර ලිපියක් ලැබෙන්නේ නම් කිසිදු ගැටලුවක් නොමැති බව මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමේදී ශ්‍රී ලංකා රග්බි සංගමයේ තරගාවලි කමිටුවේ නිලධාරියෙක් පැවසීය.    මහනුවර පිල සහ නාවික හමුදා පිල අතර පසුගිය ඉරිදා නිත්තවෙලදී පැවැති තරගය විනිසුරු කටයුතු සඳහා විදේශ විනිසුරුවකු යෙදවීම සම්බන්ධයෙන් දේශිය විනිසුරුවරුන් විරෝධය පළ කරන බවත් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ක‍්‍රීඩා සමාජවල ඉල්ලීමට අනුව විදේශ විනිසුරුවකු කැඳවූ බවත් ඇතැම් ක‍්‍රීඩා සමාජ දේශිය විනිසුරුවන්ගේ සේවය පිළිබඳව සෑහීමට පත් නොවන බවත්ය. 

“අපි ඒ තරගයට ඕස්ටේ‍්‍රලියානු ජාතික 18 හැවිරිදි විනිසුරුවකුයි ලැබී තිබුණේ. නමුත් ඔහු ඉතාමත් හොඳට තරගය විනිශ්චය කළා. කණ්ඩායම් දෙකෙන්ම පැමිණිලි ලැබුණේ නෑ.” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.  

එම තරගය සඳහා නම් කර සිටියේ යැයි කියන විනිසුරු ශ්‍රී ලංකා රග්බි සංගමයට එරෙහිව කටයුතු කිරීමේ සැළැස්මක් ඇතිව පසුගියදා පැවැති රග්බි විනිසුරුවන්ගේ සංගමයේ නිලවරණයේදී ප‍්‍රධාන තනතුරකට වැඩි ඡන්දයෙන් පත්වූ බව ද වාර්තා වේ. 

මහනුවර ප‍්‍රධාන පාසලක රග්බි පුහුණුකරු යැයිද කියන එම විනිසුරුට ශ්‍රී ලංකා ක‍්‍රීඩා නීතියට අනුව ජාතික ක‍්‍රීඩා සංගමයකට අනුබද්ධ සංගමයක තනතුරකට පත්වීමට නීතිමය අවසරයක් තිබේද යන්න ප‍්‍රශ්නකාරී වී තිබේ. ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා නීතියට අනුව පුහුණුකරුවන්ට ජාතික ක‍්‍රීඩා සංගමයක තනතුරට පත්වීමට අවස්ථාව නොමැත.

දේශිය විනිසුරුවන් වෙතින් බොහෝ අතපසුවීම් වන බවට වසර කීපයක සිට විවේචන එල්ල වෙමින් තිබේ. ඇතැම් තරගවලට යොදවන විනිසුරුවන් කීප වතාවක් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් වූවන් බව ද දැනගන්නට තිබේ. ඇතැම් විනිසුරුවන්ට තරග පිටියේ දුවමින් කටයුතු කිරීමට නොහැකියාව හේතුවෙන් වෙනත් නිලධාරී කටයුතුවලට යොමු කර තිබුණද ඔවුන් එම කාර්යයද නිවැරදිව ඉටු නොකරන බවට චෝදනා එල්ල වේ.

කොළඹදී පසුගිදා කොළඹ ප‍්‍රධාන කණ්ඩායමක් සහ ආරක්‍ෂක අංශ කණ්ඩායමක් අතර පැවැති තරගයකදී කහ කාඩ්පතකින් අවවාද ලබා නිලධාරීන් බාරයේ සිටි කොළඹ පිලේ ක‍්‍රීඩකයකු පන්දුව රැගෙන දුව යමින් සිටි ක‍්‍රීඩකයකුට මහ හඬින් ලබාදුන් උපදෙසක් හේතුවෙන් එම කණ්ඩායම උත්සාහක දිනුමක් සම්පූර්ණ කළ ආකාරය දැකගත හැකිවිය. ඉන්පසුව විනිසුරු ඇඳුමින් සැරසී සිටි නිලධාරියා ඔහුට උපදෙස් නොදෙන ලෙස පැවසූ ආකාරය දැකගත හැකි විය.  
මෙම තත්ත්වය හේතුවෙන් ඉතාමත් තීරණාත්මක තරගවලට විදේශ විනිසුරුවන්ගේ සේවය ලබා ගැනීමට රග්බි සංගමය කටයුතු කරන අතර ඇතැම් පාසල් තරගවලටද විදේශ විනිසුරුවන්ගේ සේවය ලබාගත් අවස්ථා තිබේ.   

♦ සටහන: භාසුර