2017 ජනවාරි 21 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා නව අයි.සී.සී. තරග තීරක: සුදුස්සා කපා හිතවතා ගනී?

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 140

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී.) තරග තීරක මඩුල්ලට නව ශ්‍රී ලංකා තරග තීරකවරයා නම් කිරීමේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සුදුසුම නිලධාරියා වෙනුවට හිතවත්ම පුද්ගලයා පත්කිරීමේ ක‍්‍රියා පිළිවෙතක කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එම තනතුර සඳහා පැවැත්වූ සම්මුඛ පරීක්‍ෂණයට නිලධාරීන් පස් දෙනකු සහභාගි වී ඇති අතර එහිදී පිළිවෙළින් චමින්ද මෙන්ඩිස්, වෙන්ඩල් ලැබ්රෝයි සහ මනෝජ් මෙන්ඩිස් පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගෙන තිබේ.

එම නිලධාරීන් අතරින් චමින්ද මෙන්ඩිස් තරග තීරකවරයකු සහ තේරීම් කමිටු සාමාජිකයකු ලෙස ඉදිරියෙන්ම සිටින බව අමුතුවෙන් කිවයුතු නැත. මේ සඳහා ඉදිරිපත් වූ නිලධාරීන් පස්දෙනාගෙන් ජාතික ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ එකම නිලධාරියා ද චමින්ද මෙන්ඩිස් වීම කැපී පෙනේ.

ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන පීටර් මැනුවෙල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් වූ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයට අශෝක ද සිල්වා මහතා සමඟ විනිසුරු කමිටුවේ සාමාජිකයන් ද ඇතුළත් වූ බව දැනගන්නට තිබේ. සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ තීරණය කළමණාකරණ කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසු එහි ද අනුමැතිය ලැබීමෙන් පසුව විධායක කමිටුවට යොමුකර තිබේ. 
ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවට මෙම නිලධාරීන් තිදෙනාගේ නම් ඉදිරිපත් කළ අවස්ථාවේදී චමින්ද මෙන්ඩිස්, කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජයේ සාමාජිකයකු වීම නිසා ඔහු පත්කළ නොහැකි බව උසස් තනතුරක් දරණ නිලධාරියකු පවසා ඇති බව දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තනතුරට කිසියම් පුද්ගලයකු පත්කිරීමේදී ඔහුගේ ක‍්‍රීඩා සමාජය තමන්ගේ ප‍්‍රතිවාදී එකක් වුවහොත් ඔහු ඉවත් කරන්නේ නම් ක‍්‍රිකට් ආයතනය තුළ යහපාලනය ක‍්‍රියාත්මක වන්නේ කෙසේ දැයි අමුතුවෙන් කිවයුතු නැත. එම ක‍්‍රීඩා සමාජයේ සාමාජිකත්ව දැරූ වර්තමාන ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව නියෝජනය කරන ප‍්‍රධාන නිලධාරියකු චමින්ද මෙන්ඩිස් මෙම තනතුර ලබාදිය යුතු බවට අදහස් ප‍්‍රකාශ කළ බව ද වාර්තා වේ. 

චමින්ද මෙන්ඩිස් කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජයේ සාමාජිකයකු වීම නිසා ඔහු ඉවත් කළේ නම් ඊළඟට අවස්ථාව ලැබිය යුත්තේ දෙවැනි තැන සිටි වෙන්ඩල් ලැබ්රෝයිටය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙන බව ප‍්‍රදර්ශනය කරමින් තෙවැනි තැන සිටි මනෝජ්ද මෙන්ඩිස්ට අවස්ථාව ලබාදීමට ක‍්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇති බව දැනගන්නට තිබේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලකයන්ට මෙම තනතුර සිය හිතවතකුට දීමේ අවශ්‍යතාවක් තිබුණේ නම් සම්මුඛ පරීක්‍ෂණයක් පැවැත්වූයේ කුමකටදැයි බොහෝ දෙනා ප‍්‍රශ්න කරති. රොෂාන් මහානාම මහතා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තරග තීරක තනතුරට යොමු කෙරුණේ ඔහුගේ ක‍්‍රීඩා සමාජය ගැන සැලකිල්ලක් නොදැක්විණි.

කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජයේ සාමාජිකයකු වන ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායකයා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ ක‍්‍රිකට් විධායක කමිටු ලොක්කාට ලැජ්ජාවක් නැතිදැයි මෙහිදී ප‍්‍රශ්න කළ යුතුය. ඩීල්වලින් ක‍්‍රිකට් පරිපාලනයට පැමිණි ඇතැමුන්ට කිවයුත්තේ ක‍්‍රිකට් ආයතනය නම් කළ තරග තීරකවරයා රට නියෝජනය කරන බැවින් වඩාත් සුදුසු නිලධාරියා යෙදවීම නිවැරදි පාලනය බවයි.   

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00