2018 මැයි 05 වන සෙනසුරාදා

දවසින් දවස රත්වෙන ක්‍රිකට් නිලවරණය

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 150

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය සුපුරුදු පරිදි ගිනි ජාලාවක් බවට පත්ව තිබේ. ක‍්‍රිකට් නිලවරණය ලබන 19 වැනිදා පැවැත්වීමට දින යොදා පසුගිය 27 වැනිදා නාමයෝජනා බාර ගැනීම අවසන් කිරීමට සූදානම්ව සිටිය ද නිලවරණ කමිටුව අවලංගු කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය පියවර ගැනීමත් සමඟ තත්ත්වය බැරෑරුම් විය. ක‍්‍රීඩා අමාත්‍යංශය ඉන් නොනැවතී තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් පැවැති ක‍්‍රිකට් විධායක කමිටුව අතුරු පාලන කමිටුවක් බවට ද පත්කළේය. එම කමිටුවට ක‍්‍රීඩා අමාත්‍යංශ නියෝජිතයකු පත් නොකිරීම පිළිබඳවද ගැටලු මතුවී තිබුණි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විශේෂ මහ සභාවක් නොපවත්වා විධායක කමිටුවේ අභිමතයෙන් නීතිඥ රසික වීරතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් නිලවරණ කමිටුවක් පත්කර නිලවරණය සඳහා කටයුතු කරමින් සිටියේය. නාවික කොමදෝරු සනත් උත්පල, නීතිඥ බුද්ධික ඉලංගතිලක, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ එච්.ඩී. ජූඩ් පෙරේරා සහ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාමික උප ප‍්‍රධානී දේවගිරි බණ්ඩාර යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වූහ.
ක‍්‍රීඩා සංගමයක නිලවරණයක් පැවැත්වීමේදී ක‍්‍රීඩා පනතේ 2016 අංක 1 දරන ක‍්‍රීඩා රෙගුලාසිවලට අනුව නිලවරණය කමිටුව පත්කළ යුත්තේ එම සංගමයේ මහ සභාවක් හෝ විශේෂ මහ සභාවකින් පමණක් බැවින් මෙහිදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එම වගන්ති කඩකර ඇති බවට චෝදනා එල්ල විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ පිළිබඳව පසුගිය දිනවල වැඩබලන ක‍්‍රීඩා අමාත්‍යවරයාව සිටි ෆයිසර් මුස්තාපා මහතාට ලිඛිතව පැමිණලි කර තිබුණි. එම පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ අමාත්‍යවරයා වහාම නිලවරණ කමිටුව අත්හිටුවීමට පියවර ගත්තේය. නිලවරණ කමිටුව අත්හිටුවීමත් සමඟ නිලවරණය නිරායාසයෙන්ම අත්හිටුවීමට සිදුවිය.

ක‍්‍රීඩා අමාත්‍යංශය නිලවරණ කමිටුව අවලංගු කළ දිනයේ පස්වරුවේ ක‍්‍රිකට් විධායක කමිටුව රැස්ව ලබන 19 වැනිදා හදිසි මහ සභාවක් රැස්කර නිලවරණ කමිටුව පත්කරගැනීමට තීරණය කළේය. තිලංග සුමතිපාල මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ මේ මස 31 වැනිදා නිලවරණය පැවැත්වීමට ක‍්‍රීඩා අමාත්‍යවරයාගෙන් අනුමැතිය ඉල්ලා සිටි බවයි. එහිදී සුමතිපාල මහතා පැවසුවේ අවලංගු කළ නිලවරණ කමිටුව යටතේ ලැබුණු නාමයෝජනා වලංගු බවත් නැවත නාමයෝජනා කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. නිලවරණ කමිටුව නීති විරෝධී නම් එම කමිටුව කැඳවූ නාමයෝජනා නීත්‍යානුකූල වන්නේ කෙසේ ද යන ප‍්‍රශ්නය මෙහිදී මතුවේ.

කෙසේ වෙතත් නව නිලවරණ කමිටුව පත්කළ ද නිලවරණයකින් නිලධාරීන් පත්කරන තෙක් එය සිදුවේයැයි විශ්වාසයක් තැබිය නොහැක. ක‍්‍රිකට් පරිපාලනයට වසර කිහිපයකට අතුරු කමිටුවක් පත්කරන ලෙස දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටීමට පිරිසක් සූදානම් වන බව වාර්තා වේ.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සිය සාමාජික රටවල්වල ක‍්‍රිකට් පාලනයට අතුරු කමිටු පිළිනොගන්නා බව ප‍්‍රකාශ කර තිබේ. නමුත් මෙම සටහන තබන මොහොත දක්වා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුව පිළිබඳව ප‍්‍රකාශයක් නිකුත් කර නොතිබුණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයට එරෙහිව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ දූෂණ විරෝධී අංශය තරග පාවාදීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් ඇතැම්විට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව නිශ්ශබ්දව සිටිනවා විය හැකිය. වර්තමාන පරිපාලනය ඉතාමත් දූෂිත බවත් ඒ හේතුවෙන් නැවතත් ඔවුන්ට බලයට පැමිණීමට අවස්ථාව නොදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටීමට සූදානම් වෙති.  

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා සමාජ ගතකළ දූෂණ චෝදනාවලට අදාළ ලේඛන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට බාරදී ඇති බව ද දැනගන්නට තිබේ. හිටපු පාලකයන්ට දූෂණ චෝදනා තිබියදී නැවත බලයට පැමිණීමට අවස්ථාව නොදෙන ලෙස ඉල්ලා සිටීමේ එක පියවරක් ලෙස නියෝජ්‍ය අමාත්‍ය රාමනායක මහතාගේ පැමිණිල්ල හැඳින්විය හැකිය. වැඩ සිද්ධ වන ආකාරයට ක‍්‍රිකට් නිලවරණය වෙනදාට වඩා විවාදාත්මක වීමට ද ඉඩ තිබේ.

♦ වරකාගොඩ ගමගේ

නිශාන්ත සභාපති සටනට
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු මෙන්ම පසුගිය නිලවරණයේදී සභාපති ධූරයට තරග කළ නිශාන්ත රණතුංග මහතා මෙවර ද සභාපති ධූරයට නාමයෝජනා බාර දුන්නේය. රණතුංග මහතාට අමතරව හිටපු උප ලේකම්වරයකු වන හිරන්ත පෙරේරා මහතා ලේකම් ධූරයටද, ඊස්මන් නාරංගොඩ මහතා භාණ්ඩාගාරික ධූරයටද, නාමයෝජනා බාරදී තිබේ.