2018 මැයි 05 වන සෙනසුරාදා

සුගතදාස ක්‍රීඩාංගණය සංදර්ශන පිටියක් නොවේ

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 179

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කොළඹ සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණය ඉදිකිරීමේදී ප‍්‍රධාන පරමාර්ථය බවට පත්වූයේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් එය ප‍්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන යෑමයි. එහි කිසිදු සැකයක් නැත. සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණයේ කෘත‍්‍රිම ධාවන පථය ඇතුළු ක‍්‍රීඩාංගණය, ගෘහස්ථ ක‍්‍රීඩාංගණය, පිහිනුම් තටාකය සහ සුගතදාස හෝටලය ප‍්‍රයෝජනයට ගැනීමේදී ප‍්‍රමුඛතාව ක‍්‍රීඩාවට හිමිවිය යුතුය.

සුගතදාස ක‍්‍රීඩාංගණය ‘සංගීත සංදර්ශන’ පැවැත්වීමට ඉදිකළ ස්ථානයක් නොවන බව සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණයේ වර්තමාන පාලකයන් සිහි තබාගත යුතුය. හිටපු ජනාධිපතිවරයා සුතගදාස ක‍්‍රීඩා සංකීර්ණය ඉදිකරන විට මුදල් උපයන මාර්ගයක් බවට පත්කිරීමට සැලසුම් තිබුණා යන්න ද සිතිය නොහැක. සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණයේ වර්තමාන පාලකයන් ක‍්‍රීඩාවට වඩා වෙනත් වෙනත් කටයුතුවලට ක‍්‍රීඩා සංකීර්ණය ලබාදීමට වැඩි උනන්දුවක් දක්වන බවට ඇතැම් ක‍්‍රීඩා සංගම් චෝදනා කරයි. එහි ප‍්‍රධාන අරමුණ මුදල් ඉපයීමය.

ක‍්‍රීඩා සංකීර්ණයේ නඩත්තුව සඳහා මුදල් අවශ්‍යය. එහි තර්කයක් නොමැත. සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණයේ මාසික විදුලි බිල ලක්‍ෂ ගණනකි. ක‍්‍රීඩා සංගම් සෑම තරගයකටම ක‍්‍රීඩාංගණය නොමිලයේ ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් එහි සාධාරණයක් නොමැත. ඇතැම් ක‍්‍රීඩා සංගම් සුගතදාස ක‍්‍රීඩාංගණ පාලකයන්ට ලක්‍ෂ ගණනින් පොලු තබා ඇති බව වාර්තා වේ. පොලු තැබූ ජාතික ක‍්‍රීඩා සංගමයක් පසුගියදා නැවත සුගතදාස පිහිනුම් තටාකය ඉල්ලා සිටීමෙන් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ බවත් එයට ක‍්‍රීඩා අමාත්‍යංශයට මැදිහත් වීමට සිදුවූ බව ද වාර්තා වේ. 

ක‍්‍රීඩා අමාත්‍යංශය සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණ පාලකයන් සහ ක‍්‍රීඩා සංගම් නියෝජිතයන් කැඳවා මේ පිළිබඳව සාකච්ඡාවක් ද පවත්වා තිබේ. එහිදී ජාතික තරගාවලියට පමණක් නොමිලයේ ක‍්‍රීඩා සංකීර්ණය ලබාදීමට එකඟතාවක් ඇති කරගත් බවද වාර්තා වේ.

♦ සටහන: වරකාගොඩ ගමගේ