2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

තිලංග පිලේ ඇතුළෙ කචල්

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 199

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය පසුගිය සතිය වනවිට දේශපාලන ප‍්‍රශ්නයක් බවට පත්ව තිබුණි. සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පසුගිය කාලයේ සිදුවූයේ යැයි කියන දූෂණ වංචා රැසක් හෙළි කිරීමත් සමඟ ක‍්‍රිකට් නිලවරණය පිළිබඳව බොහෝ දෙනකුගේ අවධානය යොමු විය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාට නැවත සභාපති ධූරයට පැමිණීමට සාදාචාරාත්මක අයිතියක් නොමැති බව එහිදී රාමනායක මහතා අවධාරණය කළේය. හිටපු ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද එහිදී රාමනායක මහතාගේ දැඩි විවේචනයට ලක්විය. 

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළ රජය පාර්ශවයේ 16 දෙනා අතර සුමතිපාල මහතා රැඳී සිටීම නිසා මෙම චෝදනාව එල්ල වන බවට ද ඇතැම්හු පවසති. විශ්වාසභංගයෙන් පසුව කැබිනට් සංශෝධනයත් සමඟ ක‍්‍රීඩා අමාත්‍ය ධූරය ලැබෙන මන්ත‍්‍රීවරයා අනුව තිලංග සුමතිපාල මහතා නැවත නිලවරණයට තරග කිරීම තීරණය වනු ඇතැයිද ඇතැම්හු පවසති.   

කෙසේ වෙතත් රාමනායක මහතා එහිදී පැවැසුවේ තමන් පිටුපස සුපිරි ක‍්‍රීඩකයන් සිටින බවයි.

“මම ක‍්‍රිකට් ලෝලියෙක්, මගේ පිටුපස සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයො ඉන්නවා. මාධ්‍යවේදීන් ඉන්නවා. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ආදරය කරන කෝටි සංඛ්‍යාත ජනතාවක් ඉන්නවා. ඒ සියලු දෙනා මට කිව්වා දේශපාලනඥයකු හැටියට මා පිළිබඳව ඔවුන් තුළ විශ්වාසයක් තියෙනවා කියලා. ඇයි ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දූෂණ ගැන කථා කරන්නේ නැත්තේ කියලා. එම ඉල්ලීම පිළිගෙන මම ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් ඉදිරිපත් වුණේ.”

“අද මම ඉඳගත්තේ තනියම. නමුත් මම ඉදිරියේදී සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සමඟ ඉදගන්නවා.” යැයි රාමනායක මහතා පැවසීය. 

කෙසේ වෙතත් එහිදී එල්ල වූ දැවැන්ත චෝදනාවලට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැත්තෙන් මෙම සටහන තබන මොහොත දක්වා කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නොමැත. නිලවරණය සම්බන්ධයෙන් ‘තිලංග පාර්ශවය’ තුළම ගැටුම් නිර්මාණ වී ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගවලින් දැනගන්නට තිබේ. එහිදී ලේකම් ධූරයට හිටපු භාණ්ඩාගාරිකවරයකු වන නුස්කි මොහොමඩ් මහතා ගෙන ඒමට ඇති උත්සාහය සම්බන්ධයෙන් විරෝධයක් එල්ල වෙමින් තිබෙන බව දැනගන්නට තිබේ. වර්තමාන ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සිටියදී නුස්කි මොහොමඩ් මහතා අවස්ථා කීපයකදී අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ රැස්වීම්වලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි විය.

උප සභාපති ධූරය දෙක වෙනුවෙන්ද මේ වනවිට ‘තිලංග පාර්ශවය’ තුළම ගැටුම් නිර්මාණ වන තත්ත්වයක් පැවතුණි. වර්තමාන පරිපාලනයේ මොහාන් ද සිල්වා සහ කේ. මතිවානන් යන මහත්වරු කටයුතු කරති. වර්තමාන පරිපාලනයේ වෙනත් උප තනතුරක් දරන නිලධාරියකු සහ කේ. මතිවානන් මහතා අතර පවතින ගැටුමක් හේතුවෙන් එම නිලධාරියා උප සභාපති ධූරයකට තරග කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

මෙවර ‘ධර්මදාස පාර්ශවය’ ද නිලවරණයට ඉදිරිපත්වීමට සූදානම් වන බව දැනගන්නට තිබේ. එසේ වුවද එම පාර්ශවයෙන් තනතුරුවලට ඉදිරිපත් වන්නේ කවුරුන්ද යන්න පැහැදිලි නොවේ. කෙසේ වෙතත් සියලුම පාර්ශවල ප‍්‍රධාන අරමුණ බවට පත්ව ඇත්තේ තිලංග සුමතිපාල මහතා නිලවරණයට ඉදිරිපත්වීම වැළැක්වීමයි. දූෂණ චෝදනා ඔප්පු කළ හැකිවුවහොත් පත්වන නව ක‍්‍රීඩා අමාත්‍යවරයාට එම කාර්යය කළ හැකිය. 

එසේ වුවහොත් ‘ධර්මදාස පාර්ශවය’ මෙන්ම ‘රණතුංග පාර්ශවය’ ද කරළියට පැමිණෙනු ඇත. අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාද සභාපති ධූරයට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය මැයි මස 19 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා නාමයෝජනා බාරගැනීම පසුගිය සිකුරාදා අවසන් වීමට නියමිතව තිබුණි.  

I සටහන: වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00