2018 අප්‍රේල් 13 වන සිකුරාදා

බර ඉසිලීමේ කණ්ඩායම ලංකාවේම බර කරට ගනී!

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 78

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ පස්වැනි දිනය වූ පසුගිය සඳුදා පස්වරුව වනවිට ක‍්‍රීඩා උළෙලට නිල වශයෙන් සහභාගි වූ 118 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බර කරට ගැනීමට බර ඉසිලීමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සිදුව තිබුණි. ගෝල්ඩ්කෝස්ට්වලින් දැනගන්නට ලැබෙන පරිදි නිල නොවන ලෙස ක‍්‍රීඩා උළෙලට සහභාගි වී සිටින පිරිසත් සමඟ බර ඉසිලීමේ කණ්ඩායමට දැරීමට සිදුව ඇති බර ප‍්‍රමාණය විශාල බව දැනගන්නට තිබේ.

මෙම සටහන තබන මොහොත වන විට ශ්‍රී ලංකාව බර ඉසිලීමේ ක‍්‍රීඩාවෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා සිටියේය. ශ්‍රී ලංකාව එම පදක්කම් තුනත් සමඟ පදක්කම් සටහනේ 14 වැනි ස්ථානයේ පසුවිය.

බර ඉසිලීමේ ක‍්‍රීඩක ඉන්දික දිසානායක රිදී පදක්කමක් දිනාගනිමින් ශ්‍රී ලංකා නාමය පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කම් සටහනේ මුල් විස්ස අතර තව දුරටත් රඳවා ගැනීමට සමත් විය. කිලෝග‍්‍රෑම් 69 බර පන්තියේ ක‍්‍රීඩා කළ ඉන්දික එහිදී ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 137 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 160 ක් ඔසවමින් සමස්ත තරගයේදී කිලෝග‍්‍රෑම් 297 ක් වාර්තා කළේය.

ඉන්දික අවසන් උත්සාහයන් දෙකේදී ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 163 ක අභියෝගය බාරගත්තද අවස්ථා දෙකම මඟ හැරුණි. එම උත්සාහයක් සාර්ථක වූයේ නම් ඉන්දිකගේ කථාව රන් පදක්කමකින් සටහන් තැබීමේ අවස්ථාව තිබුණි. එහි රන් පදක්කම දිනූ වේල්සයේ ගැරිත් එවන්ස් කිලෝග‍්‍රෑම් 299 ක් ඔසවා තිබූ අතර ඉන්දික කිලෝග‍්‍රෑම් 163 එසවූයේ නම් සමස්ත බර ප‍්‍රමාණය 300 ක් බවට පත්ව රන් පදක්කම ශ්‍රී ලංකා නම ඉදිරියෙන් සටහන් වනු ඇත.

ක‍්‍රීඩා උළෙලේ ආරම්භක දිනයේදී බර ඉසිලීමේ ඉසව්වලින් චතුරංග ලක්මාල් සහ දිනූෂා හංසනි ලෝකඩ පදක්කම්වලින් ශ්‍රී ලංකාව සැරසීමට සමත් වූහ. චතුරංග, කිලෝග‍්‍රෑම් 56 බර පංතියේ තරග කරමින් ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 114 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 134 ක් ලෙස කිලෝග‍්‍රෑම් 248 ක් එසවීය. එහිදී රිදී පදක්කම දිනූ ඉන්දීය ක‍්‍රීඩකයා කිලෝග‍්‍රෑම් 249 ක් එසවූ අතර ඒ අනුව චතුරංගට කිලෝග‍්‍රෑම් එකකින් රිදී පදක්කම අහිමිවිය. 

දිනූෂා හංසනි කිලෝග‍්‍රෑම් 48 බර පන්තියේ කාන්තා ඉසව්වේදී ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 70 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 85 ක් පරිදි සමස්ත කිලෝග‍්‍රෑම් 155 ක් එසවීය.

ශ්‍රී ලංකා බොක්සිං ක‍්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු කිලෝග‍්‍රෑම් 45 ත් 48 ත් බර පන්තියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට පසුගිය ඉරිදා සමත් වූවාය. එසේ වෙතත් ඇය අවසන් පූර්ව තරගයේදී ඔලිම්පික් පදක්කම්ලාභී ඉන්දීය ක‍්‍රීඩිකා මේරි කෝම්ට එරෙහිව තරග කිරීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා ස්කොෂ් ක‍්‍රීඩිකා මිහිලියා මෙත්සරණි පළඟ ශූරතා අවසන් තරගයේදී බාබඩෝස් ක‍්‍රීඩිකා මෙගාන් බෙස්ට් හමුවේ පරාජයට පත්විය. ගෝල්ඩ්කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට ඉදිරි දින කීපයේදී වඩාත් කාර්ය බහුල වෙයි. එහිදී ශ්‍රී ලංකාවට තවත් පදක්කම් දිනා ගැනීමට හැකියාව තිබේද යන්න ‍දෙස බලා සිටීමට සිදුවේ. ශ්‍රී ලංකාව මෙවැනි ක‍්‍රීඩා උළෙල රැසකදී යැපී ඇත්තේ එකම ක‍්‍රීඩාවකින් පමණි. මෙම ක‍්‍රීඩා උළෙල ද එවැන්නක් නොවේ යැයි කිසිවකු කිව නොහැක.  

♦ වරකාගොඩ ගමගේ