2018 අප්‍රේල් 13 වන සිකුරාදා

පුහුණුකරුවන්ගේ අණසකට යටවූ “සුපිරි හතරේ” ක්‍රිකට් තරග

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 173

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් දැන් පැවැත්වෙන ‘සුපිරි හතර’ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන ප‍්‍රයෝජනය ලැබෙන්නේ දැයි සැක මතුවී තිබේ. ශ්‍රී ලංකා පළමු පෙළ තරගාවලිය වඩාත් තරගකාරී එකක් බවට පත්කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් පිලට වඩාත් දක්‍ෂතාවලින් සපිරුණු ක‍්‍රීඩකයන් තෝරා ගැනීම මෙම තරගාවලිය අරමුණ බව තරගාවලිය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

සාමාන්‍ය ක‍්‍රිකට් සම්ප‍්‍රදායට අනුව මෙම තරගවල පාලනය ද පුහුණුකරුවන් වෙත ලැබී තිබේ. එහි ප‍්‍රතිඵලයෙන් මෙම තරගාවලිය ඇල්මැරුණු තත්ත්වයකට ඇද වැටීමේ අවදානමකට පත්ව තිබුණි. කටුනායකදී සහ සූරියවැවදී පැවැති මෙම තරගාවලියේ පළමු තරග දෙකේදී එම පුහුණුකරුවන් තම අභිමානය ආරක්‍ෂා කරගැනීමට උත්සාහ කරන බව පැහැදිලි විය. ඇතැම් පුහුණුකරුවෝ තමන්ගේ ස්ථානය රැකගැනීම සඳහා තරග දියාරු කරමින් සිටිති.

මෙම තරගාවලිය පුහුණුකරුවන්ට ඔවුන්ගේ දස්කම් පෙන්වීමේ අවස්ථාවක් පමණක් කළයුතුව තිබේ. එසේ නොමැතිව ක‍්‍රීඩකයන්ගේ කර පිටින් පුහුණුකරුවන්නට පොරවීමේ අවස්ථාව නොදිය යුතුය. සූරියවැව ක‍්‍රීඩාංගණයේදී ගාල්ල පිල සහ කොළඹ පිල අතර තරගය අවසන් දිනයේ ඇල්මැරුණු එකක් බවට පත්වීම ඊට උදාහරණයකි.

එහිදී ගාල්ල පිල පළමු ඉනිමේදී ලකුණු 143 ක වාසියක් ලබාගෙන සිටිය ද දෙවැනි ඉනිමේදී මන්දගාමී ඉනිමක් ක‍්‍රීඩා කළේය. එහිදී ළහිරු මිලන්ත සහ සදීර සමරවික‍්‍රම අර්ධ ශතක රැස්කළත් එය ශ්‍රී ලංකා ටෙස්ට් පිලට කොරතම් වටින්නේද යන්න පිළිබඳව අවධානය යුතුය.

එහිදී ගාල්ල පිල වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කර කොළඹ පිලට ඉලක්කයක් බාර කළේය නම් එම තරගය මීට වඩා ප‍්‍රයෝජනවත් විය හැකිය. එය එසේ වූයේ නම් ගාල්ල පිලේ පන්දු යවන්නන්ට පීඩනය තුළ පන්දු යැවීමේ පෙරහුරුවක් ලැබීමේ මහඟු අවස්ථාව හිමිවේ.

එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගාල්ල පිලේ පළමු කඩුලු හතර ලකුණු 22 කට බිඳ වැටීමෙන් පසුව රොෂේන් සිල්වා සහ දසුන් ශානක ලකුණු 202 සම්බන්ධතාවක් පැවැත්වීම කැපී පෙනුණි. එම ඉනිම රොෂේන් සහ දසුන්ගේ ක‍්‍රීඩා දිවියට මිල කළ නොහැකි අත්දැකීමකි.

දඹුල්ල පිල සහ මහනුවර පිල අතර කටුනායකදී පැවැති තරගයේදී හොඳ තරගකාරිත්වයක් ප‍්‍රදර්ශනය වූ අතර එයට පුහුණුකරුවන්ගේ හොඳ දායකත්වය ලැබුණි. දඹුල්ල පිල දෙවැනි ඉනිමේදී වේගවත් ලකුණු 256 ක් රැස්කරමින් මහනුවර පිලට ලකුණු 373 ක ඉලක්කයක් බාර කළේය. මහනුවර පිල මෙම ඉලක්කය ඉතාමත් හොඳින් හඹායමින්  ඕවර 56.2 කදී කඩුලු දෙකක් දැවී ලකුණු 221 ක් රැස්කළේය. කටුනායක තරගය විසඳුමකින් තොරව අවසන් වුවද එහි සැබෑ තරගකාරිත්වයක් දැකගත හැකිවිය.

ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට තරග ජය ලැබිය හැකි ක‍්‍රීඩකයන් පමණක් අවශ්‍යව තිබේ. මෙම තරගාවලියෙන් හෝ එවැනි ක‍්‍රීඩකයන් හඳුනා නොගතහොත් කඩාවැටීමෙන් ගොඩ ඒමට තවත් කාලයක් ගතවනු ඇත.  

♦ යොහාන් භාසුර