2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

දියගම “සුදු අලියා” මේ පාරවත් කළුවෙයිද?

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණය ආරම්භයේ සිටම ‘සුදු අලියකු’ වූ බව අමුතුවෙන් කිවයුතු නැත. එම ක‍්‍රීඩාංගණය රුපියල් මිලියන ගණනක් වියදම් කරමින් ‘දියගම ක‍්‍රීඩා සංකීර්ණය’ ලෙස නවීකරණය කිරීමට පසුගියදා මුල්ගල් තබනු ලැබීය. මෙම ක‍්‍රීඩාංගණය ආරම්භයේ සිටම ඇතැමුන්ගේ සාක්කු පිරවූ බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම ක‍්‍රීඩාංගණයේ ආරම්භක ඉදිකිරීම් යටතේ රුපියල් මිලියන ගණනක් වැයකරමින් කෘත‍්‍රිම පාපැදි ධාවන පථයක් එසේත් නැත්නම් වෙලෝඩෘම් ධාවන පථයක් ඉදි කෙරුණි. එම ධාවන පථය නියමිත ප‍්‍රතිමිතයට ඉදිකර නොතිබීම හේතුවෙන් පාවිච්චියට ගැනීමට පෙරම කඩා ඉවත් කරමින් එම ස්ථානයේ පිහිනුම් තටාකයක් ඉදිකිරීමට සිදුවිය.

සුගතදාස ක‍්‍රීඩාංගණයේ ධාවන පථය වසර කීපයක් ගතවීමටත් පෙර ප‍්‍රයෝජනයට ගැනීමට නොහැකි ලෙස අබලන්වීමත් සමඟ මෙම ක‍්‍රීඩාංගණයේ ජාතික පාසල් මලල ක‍්‍රීඩා තරගාවලිය ඇතුළු ප‍්‍රධාන සහ කුඩා ප‍්‍රමාණයේ මලල ක‍්‍රීඩා තරගාවලි 100 කට ආසන්න සංඛ්‍යාවක් පවත්වා තිබෙනවාට සැක නැත. මෙහි කොතරම් තරගාවලි පැවැත්වුවද ආරම්භයේ සිටම ප‍්‍රධාන තරගාවලියකට ප‍්‍රමාණවත් මෙන්ම සුදුසු පහසුකම් දියගම ක‍්‍රීඩාංගණයේ නොතිබුණු බව මෙම ක‍්‍රීඩාංගණය පරිහරණය කළ බොහෝ දෙනා සාක්‍ෂි දරති.   

මෙම ක‍්‍රීඩාංගණය මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩා සංවර්ධන පදනමේ සෘජු මැදිහත්වීමෙන් ඉදිකර 2009 වසරේ නොවැම්බර් මස ජනතා අයිතියට පත් කෙරිණි. එතැන් සිට වසර නවයකට ආසන්න කාලයක් ගතවෙත්ම මෙම ක‍්‍රීඩාංගණය මේ වනවිට දැඩි අබලන් තත්ත්වයකට පත්ව තිබේ. මෙහි කෘත‍්‍රිම ධාවන පථය ද මේ වනවිට ප‍්‍රයෝජනයට ගත නොහැකි බව මලල ක‍්‍රීඩා පුහුණුකරුවෝ පවසති.

වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත්වීමෙන් පසුගියදා ඉදිකිරීම් ආරම්භ වූ අතර මෙහි ඉදිකිරීම ඉදිරි වසර දෙකක කාලය තුළ අවසන් කිරීමට නියමිත බව ක‍්‍රීඩා අමාත්‍යංශය පවසයි. නව ව්‍යාපෘතිය යටතේ පළමුවෙන්ම කෘත‍්‍රිම ධාවන පථය එළීමට නියමිතය. තවද මෙහි සියලුම නවීන පහසුකම් සහිත ක‍්‍රීඩා විද්‍යායතනයක් ඉදිකිරීමටද සැළසුම්කර තිබේ. 

මෙහිදී ‘මහින්ද රාජපක්‍ෂ’ යන හිටපු ජනාධිපතිවරයාගේ නම ක‍්‍රීඩාගංණය නවීකරණය කිරීම ආරම්භ කිරීමත් සමඟ ඉවත්වීම පිළිබඳව කථාබහක් නිර්මාණය වී තිබුණි. මෙම ක‍්‍රීඩාංගණය කිසිවකුගේ නම පිළිබඳව ප‍්‍රශ්නයක් ජනතාවට නොමැත. වර්තමානයට සහ අනාගතයට මෙම ක‍්‍රීඩාංගණයෙන් ලැබෙන ප‍්‍රයෝජනය පමණක් ජනතාවට වැදගත් වේ. තාවකාලික මවාපෑමක් කර නම යෙදීමට වර්තමාන ක‍්‍රීඩා අමාත්‍යවරයාද බලාපොරොත්තු වන්නේ නම් එය දරුණු මුල්‍ය අපරාධයකි. මෙවර එසේ නොවේවා යැයි ශ්‍රී ලංකා ජනතාවගේ ප‍්‍රාර්ථනාවයි. 

♦ සටහන: යොහාන් භාසුර
ඡායාරූපය: ඉෂාන් සංජීව

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00