2018 මාර්තු 24 වන සෙනසුරාදා

පොදු සාධකය.. පන්දු යැවීම

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 139

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ‘නිදහස් කුසලාන’ විස්සයි20 තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා පිලට එතරම් සුබදායි නොවීය. ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමේ දුර්වලතා මෙම පසු බෑමට පොදු සාධකය බවට පත්විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිල පසුගිය වසර දෙකක පමණ කාලය දෙස හැරී බැලීමේදී මෙවර සටනක් දී පරාජයට පත්වූ ආකාරය ප‍්‍රදර්ශනය විය. 

ශ්‍රී ලංකාවට අවසන් ඕවර දෙක පීඩනය තුළ පන්දු යැවීම සඳහා පන්දු යවන්නකු නිර්මාණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් මෙම තරගාවලියේදී ඉස්මතුවිය. ශ්‍රී ලංකාව එම තරගාවලියේ සහභාගි වූ තරග හතරෙන් තුනක් පරාජයට පත්වීමෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය. පළමු තරගයේදී ඉන්දියාව පරාජය කළ ද බංග්ලාදේශය හමුවේ තරග දෙකම පරාජයට පත්වීම දැඩි පසු බෑමකි.

ශ්‍රී ලංකා පිල මෙම පරාජයට සති දෙකකට තුනකට පෙර බංග්ලාදේශයේදී පිට පිටම විස්සයි20 තරග දෙකකදී බංග්ලාදේශය පරාජය කර සිටියේය. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ එම ජයග‍්‍රහණ දෙකත් සමඟ බංග්ලාදේශය වසර කීපයකට පසු පසට ඇද දැමූ බවට ඇතැම්හු පැවසූහ. 

එය එසේ වුවද බංග්ලාදේශ පිල පළමු තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 215 ක් හඹාගොස් ජය ලැබීය. බංග්ලාදේශය දෙවැනි තරගයේදී ලකුණු 160 ක් හඹාගොස් ජය ගත්තේය. බංග්ලාදේශයට එරෙහිව දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ පිතිකරුවන් සාර්ථක වූයේ නම් මෙම කථාව මීට වඩා වෙනස් ආකාරයට ලිවීමේ අවස්ථාව ද තිබුණි. එහිදී ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු පහ ලකුණු 41 තුළ බිඳ වැටුණි. 

කුසල් පෙරේරා (61) සහ තිසර පෙරේරා (58) වේගවත් අර්ධ ශතක දෙක රුස් නොකරන්නට බංග්ලාදේශයට එහිදී පහසු ජයක් ලැබීමේ අවස්ථාව ද තිබුණි. ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එම තරගයේ අවසන් ඕවරයේ පස්වැනි පන්දුව දක්වා බංග්ලාදේශ පිතිකරුවන්ට පීඩනය යොමු කළහ. ඉසුරු උදාන යැවූ ඉනිමේ අවසන් ඕවරයට ලකුණු 12 ක් අවශ්‍ය වූ අතර මහුමුදුල්ලා පස්වැනි පන්දුවට ගැසූ හයේ පහරත් සමගින් බංග්ලාදේශය අවසන් මහා තරගයට පැමිණියේය. 

එම තරගයේ අවසන්  ඕවරය ක‍්‍රිකට් ක‍්‍රීඩාවට කළු පැල්ලමක් එක්කළ බව අමුතුවෙන් කිවයුතු නැත. එහිදී නිපන්දුවක් පිළිබඳව ඇති වූ සිද්ධිය හේතුවෙන් බංග්ලාදේශය කෙරෙහි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ප්‍රේක්‍ෂකයන් තුළ දැඩි කෝපයක් නිර්මාණ කළ බව අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දීය පිලට සහය පළ කිරීමෙන් මනාව පැහැදිලි වේ.

ඉන්දීය නායක රෝහිත් ශර්මා ශූරතාව දිනාගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයන්ට ස්තූති කිරීම පළමු කාර්යය ලෙස ඉටු කළේය. එම අර්බුදයට තරගයේ ප‍්‍රධාන විනිසුරුවන් ලෙස කටයුතු කළ රවීන්ද්‍ර විමලසිරි සහ රුචිර පල්ලියගුරු යන මහත්වරුන්ට ද චෝදනා එල්ල විය. එහිදී ශ්‍රී ලංකා විනිසුරුවන් දෙපළ නිවැරදිව කටයුතු නොකළා යැයි විවේචන එල්ල වෙමින් තිබේ. 

ඉසුරු උදාන පළමු පන්දුව බවුන්සර් පන්දුවක් ලෙස යොමු කළ අතර එය උරහිසට ඉහළින් ගිය පළමු පන්දුව ලෙස විනිසුරු රවීන්ද්‍ර විමලසිරි සඳහන් නොකළ අතර දෙවැනි පන්දුව බවුන්සර් පන්දුවක් ලෙස යැවීමෙන් පසුව ස්ක්වෙයාර්ලෙග් විනිසුරු රුචිර පල්ලියගුරු එය නිපන්දුවක් ලෙස සංඥා කළේය. එහිදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ තිසර පෙරේරා පළමු පන්දුව උරහිසට ඉහළින් ගිය පන්දුවක් ලෙස නම් නොකළ බව සඳහන් කිරීමත් සමඟ විනිසුරුවෝ එය නිපන්දුවක් නොවන බව පැවසූහ. 

එම සිද්ධියත් සමඟ බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන්ගේ සහ අතිරේක ක‍්‍රීඩක නුරුල් හසන්ගේ අශෝභන හැසිරීම ආරම්භ විය. බංග්ලාදේශ පන්දු යවන්නෝ අවසන් මහ තරගයේදී ඉන්දීය පිතිකරුවන්ටද සැබෑ පීඩනයක් යොමු කළහ. දිනේෂ් කාර්තික් අවසන් පන්දුවට හයේ පහර ගැසීම හේතුවෙන් බංග්ලාදේශයේ සිහිනය බිඳවැටිණි. 

► සටහන: යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00