2018 මාර්තු 10 වන සෙනසුරාදා

කිසිම බුරුලක් දිය යුතු නැත

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 261

ශ්‍රී ලංකාවේදී දැන් පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පසුගිය අඟහරුවාදා පැවැති තරගයෙන් ඉන්දියාවට එරෙහිව කඩුලු පහක පහසු ජයක් ලැබීමත් සමඟ ශ්‍රී ලංකා පිල නව ජවයක් එන්නත් වූවාට සැක නැත. ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය බංග්ලාදේශයට එරෙහිව ඊයේ (10) පැවැත්වීමට නියමිතව තිබුණි. 

මෙම ජයග‍්‍රහණය ඉන්දියාවට එරෙහිව වසර දෙකකට අධික කාලයකට පසුව ලැබූ විස්සයි20 ජයග‍්‍රහණය වීම කැපී පෙනුණි. ශ්‍රී ලංකාව 2016 වසරේ පෙබරවාරි මාසයේ පූනේහිදී ලැබූ ජයග‍්‍රහණයෙන් පසුව ඉන්දියාවට එරෙහිව විස්සයි20 තරග හයකට සහභාගි වී ලැබූ පළමු ජයග‍්‍රහණය මෙය වේ.

ඉන්දියාවට එරෙහිව ලැබූ මෙම ජයග‍්‍රහණය ‘නිදහස් කුසලාන’ තරගාවලියේ අවසන් මහ තරගයට පැමිණීමටද වඩාත් වැදගත්ය. ප‍්‍රබල ඉන්දීය පිලට එරෙහිව තරගයක් ජය ලැබීමෙන් ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ඒමට වැඩි අවස්ථාවක් තිබේ. 

චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරය බාර ගැනීමෙන් පසුව ක‍්‍රීඩකයන්ගේ මෙන්ම කණ්ඩායමේ දක්‍ෂතාවල පැහැදිලි වෙනසක් දැකිය හැකි අතර එය ක‍්‍රීඩකයන් විසින් ජයග‍්‍රහණයට මනාව මුසුකරන ආකාරයක් පෙනී යයි.

මෙම තරගයේදී ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ ඉනිම වඩාත් කැපී පෙනුණි. කුසල් ඉනිමේ තෙවැනි  ඕවරයට ලකුණු 27 ක් රුස්කරමින් ලබාගත් සාර්ථක ආරම්භය හේතුවෙන් පන්දු 9 ක් ඉතිරි කරමින් ජයග‍්‍රහණයට යෑමට මඟ විවර විය.

දඟ පන්දු යවන්නන් වන ජීවන් මෙන්ඩිස්, අකිල ධනංජය සහ ධනුෂ්ක ගුණතිලක ප‍්‍රබල ඉන්දීය පිතිකරුවන් තරමක් දුරට බැඳ දැමීමට සමත් වූහ. දුෂ්මන්ත චමීර පළමු  ඕවරයේදීම රෝහිත් ශර්මා දවා ගැනීමද තීරණාත්මක සාධකයක් බවට පත්විය.

කුසල් ඔහුගේ ඉනිමේ අවසන් පන්දු කීපයේදී පන්දුවට පහර දුන් ආකාරය දෙස බැලීමේදී ආබාධය සම්පූර්ණයෙන් සුවවී ඇත්දැයි සැකයක්ද මතුවේ. කෙසේ වෙතත් මෙම සටහන තබන මොහොත වනවිට කුසල් දෙවැනි තරගයට සූදානමින් සිටියේය.  

“ක‍්‍රීඩකයන්, කළමණාකරිත්වය සහ පුහුණුකරුවන් අතර සම්බන්ධතාවය වඩාත් හොඳ තත්ත්වයක තිබෙනවා. ප‍්‍රධාන පුහුණුකරු සහ පුහුණුකරු මඬුල්ල සෑමවිටම ක‍්‍රීඩකයන්ගේ විශ්වාසය වැඩි වන ලෙස කටයුතු කරනවා” යැයි කුසල් තරගයෙන් පසුව පැවසීය. ක‍්‍රීඩකයන්ට නිදහසේ ක‍්‍රීඩාව කරගෙන යෑමේ අවස්ථාව ලැබී ඇති බව එම ප‍්‍රකාශයෙන් පැහැදිලි වුවද ඒ පිළිබඳව කථා කිරීමට වේලාසන වැඩි යැයි හැඟේ. 

ඉන්දියාව මෙම තරගාවලියට දෙවැනි පෙළ කණ්ඩායමකට සමාන කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ වාසිය ගැනීමට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය උත්සුක විය යුතුය. රෝහිත් ශර්මා, ශීකර් ධවාන්, සුරේෂ් රයිනා සහ දිනේෂ් කාර්තික් තරගාවලියට සහභාගි වී සිටීම නිසා ඉන්දීය පිලේ පිතිකරු ලැයිස්තුව ශක්තිමත්ය. නමුත් ප‍්‍රබල පන්දු යවන්නන් නොමැති වීමෙන් පන්දු යැවීම දුර්වල වී තිබේ.

බංග්ලාදේශ පිල කොයි මොහොතේ හිස ඔසවයි ද යන්න කිසිවකුට කිව නොහැක. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව කිසිදු බුරුලක් නොදිය යුතුය.

♦ සටහන: යොහාන් භාසුර