2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ඔලිම්පික් කමිටු නිලවරණයේ කැරකෙන ගිනිබෝල

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය මේ මස 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණ ද එය පැවැත්වෙන තෙක් විශ්වාසයක් නොමැති තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෙවර නිලවරණයේදී හේමසිරි ප‍්‍රනාන්දු පාර්ශවයට එරෙහිව රොහාන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජාතික ක‍්‍රීඩා සංගම් එකතුව’ ලෙස තවත් පාර්ශවයක් ඉදිරිපත්වීම නිසා නිලවරණය වඩාත් උණුසුම් වී තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ වර්තමාන සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙවර නිලවරණයට ඉදිරිපත් නොවන අතර එම පාර්ශවයෙන් සභාපති ධූරයට සුරේෂ් සුබ‍්‍රමනියම් මහතා ඉදිරිපත් වීමට නියමිතය. හේමසිරි ප‍්‍රනාන්දු පාර්ශ්වයෙන් වර්තමාන ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා මෙවරද ලේකම් ධූරයට තරග කිරීමට නියමිතය. රොහාන් ප‍්‍රනාන්දු පාර්ශ්වයෙන් රොහාන් මහතා සභාපති ධූරයට ඉදිරිපත් වීමට නියමිත අතර ශ්‍රී ලංකා හබල් ඔරු සංගමය නියෝජනය කරන ප‍්‍රීති පෙරේරා මහතා රොහාන් ප‍්‍රනාන්දු පාර්ශවයෙන් ලේකම් ධූරයට ඉදිරිපත් වීමට නියමිත බවද දැනගන්නට තිබේ.

නිලවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීම පසුගිය සිකුරාදා අවසන් වීමට නියමිතව තිබූ අතර එදින සිට සටන තවදුරටත් තිව‍්‍ර වනවාට සැක නැත. 

ක‍්‍රීඩා පනතට අනුව ඇතැම් නිලධාරීන්ට මෙවර නිලවරණයට තරග කළ නොහැකි බවට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවා පවසා තිබෙන පසුබිමක් තුළ නිලවරණය අධිකරණය දක්වා යෑමේ අවදානමක් උද්ගත වී තිබේ. හේමසිරි ප‍්‍රනාන්දු පාර්ශවයේ ප‍්‍රධාන නිලධාරීන් දෙපළකට ක‍්‍රීඩා නීතියට අනුව මෙවර නිලවරණයට ඉදිරිපත් වීමට නොහැකි බවට ප‍්‍රතිවාදීන් මේ වනවිටත් විරෝධය පළකර තිබේ. 

ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් වාර්තා නිසි කාලයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමෙන් ක‍්‍රීඩා නීතිය උල්ලංඝණය කර ඇති බවට එම නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් වාර්තා මේ වනවිට විගණනය කර ලැබී තිබුණද ඒවා නිසි වේලාවට නොලැබුණු චෝදනාවෙන් එම නිලධාරීන්ට ගැලවිය නොහැකි බව වාර්තා වේ.  

අදාළ නිලධාරීන් දෙපළ ජාතික ක‍්‍රීඩා සංගම් දෙකක ප‍්‍රධාන තනතුරු දරණ අතර ක‍්‍රීඩා නීතියට අනුව එම තනතුරුවලට කටයුතු කළ නොහැකි බවට මතයක් නිර්මාණ වී තිබේ. කෙසේ වෙතත් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා පවසා තිබුණේ ඔලිම්පික් කමිටුව ක‍්‍රීඩා සංගමයක් නොව බවත් එහි කටයුතු සිදුවිය යුත්තේ අන්තර්ජාතික ඔලිම්පික් ප‍්‍රඥප්තිය අනුව පමණක් බවත් තමන් ඒ අනුව කටයුතු කරන බවත්ය.

ගිණුම් වාර්තා නොමැතිව අඛණ්ඩව කිසියම් රටක ඔලිම්පික් කමිටුවේ රැඳී සිටිය හැකි යැයි අන්තර්ජාතික  ඔලිම්පික් ප‍්‍රඥප්තිය සඳහන්ව තිබේ යැයි විශ්වාස කළ නොහැක. ජාතික ඔලිම්පික් කමිටුවේ ප‍්‍රධාන නිලධාරියකු නිලවරණය වෙනුවෙන් උපරිම උප්පරවැට්ටි යොදමින් සිටින බවටද ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ. 

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී ලබන අප්‍රේල් මස පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමටද ඔලිම්පික් නිලවරණ යොදාගෙන ඇති බව වාර්තා වේ. උප්පරවැට්ටිවලට නමක් දිනා සිටින අදාළ නිලධාරියා ඔහුට හිතවත් ක‍්‍රීඩා සංගම්වල කණ්ඩායම් ඇතුළත් කරමින් ප‍්‍රතිවාදී ක‍්‍රීඩා සංගම්වල කණ්ඩායම් කපා හරිමින් සිටින බව දැනගන්නට තිබේ. 

ක‍්‍රීඩා ඇමතිවරයා පත්කළ කමිටුවක් ක‍්‍රීඩා 13 කට ඇතුළත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 82 කින් සමන්විත කණ්ඩායමක් නිර්දේශ කර තිබුණද එයටද මේ දක්වා ක‍්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලබාදී නොතිබුණි.

♦ සටහන: විශේෂ ලියුම්කරුවකු විසිනි

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00