2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

ධනංජය-කුසල් රෙකෝඩ් කඩති

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 237

යොවුන් පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස් (196) සහ ධනංජය ද සිල්වා (173) වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනගමින් බංග්ලාදේශයට එරෙහිව චිතගොන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ පසුගිය සිකුරාදා තරගයේ පාලනය ශ්‍රී ලංකාවට ගෙන ඒමට සමත් වූහ. මෙහිදී කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා දෙවැනි කඩුල්ලට ලකුණු 308ක වාර්තාගත සම්බන්ධතාවක් පැවැත්වූහ. මෙම සම්බන්ධතාවත් සමඟ බංග්ලාදේශ පිලේ සියලුම සැළසුම් අසාර්ථක විය.

මෙම සම්බන්ධතාව ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ දෙවැනි කඩුල්ලට පැවැත්වූ තෙවැනි ඉහළතම සම්බන්ධතාව වන අතර බංග්ලාදේශයට එරෙහිව දෙවැනි කඩුල්ලට පැවැත්වූ ඉහළතම සම්බන්ධතාවද වේ. සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම 1997 වසරේ ඉන්දියාවට එරෙහිව ලකුණු 576ක සම්බන්ධතාවක් පවත්වමින් දෙවැනි කඩුල්ලේ ඉහළතම සම්බන්ධතාවට හිමිකම් කියති.   

කෙසේ වෙතත් කුසල් ලකුණු 196ක් ලබා සිටියදී ඉදිරියට පැන ගැසූ පහරකින් උඩ පන්දුවක් දෙමින් දැවී යෑම ටෙස්ට් පිතිකරුවකුගේ අනාගතයට එතරම් හොඳ නැත. කුසල් එම අවස්ථාව කළමනාරණය කරමින් ලකුණ බැගින් ලබා ද්විත්ව ශතකය සම්පූර්ණ කළේ නම් වඩාත් අගනේය. කුසල් කඩුල්ලේ රැඳී සිටියේ නම් නිරන්තරයෙන් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක වේ. එය ශ්‍රී ලංකා පිලට ඉලක්කය පසුකරමින් අභියෝගයක් යොමු කිරීමේ අවස්ථාව ලැබේ. දිනය අවසන් වනවිට ශ්‍රී ලංකාපිල කඩුලු 3ට ලකුණු 504 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා එක්දින පිල බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගනිමින් නැවතත් ජයග‍්‍රාහි මානසිකත්වය ආරෝපණය කරගත්තේය. එය එසේ වුවද චිතගොන්හිදී පසුගිය බදාදා ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ සිට බංග්ලාදේශ පිල වාසිය හරවා ගැනීමෙන් ශ්‍රී ලංකා පිල මඳක් පසු බැස සිටියේය.

බංග්ලාදේශ පිතිකරුවෝ ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් තඹ දොයිතුවකට මායිම් නොකර බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ පස්වැනි ඉහළතම ඉනිමක ලෙස ලකුණු 513 ක් රැස්කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව පිතිකරුවන් හය දෙනෙක් සහ පන්දු යවන්නන් පස්දෙනකු සමඟ සටනට අවතීරණ විය. නිත්‍ය පිට දඟපන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරා අංක හත ස්ථානයේ තුන් ඉරියව් ක‍්‍රීඩකයකු බවට පත්ව සිටියේය. දඟපන්දු යවන්නන් වන රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා සහ ලක්‍ෂාන් සඳකැන්  ඕවර 86 ක් ක‍්‍රියාත්මක කළද බංග්ලාදේශ පිතිකරුවෝ ඉලක්කයට ළගා වූහ.

ආබාධයෙන් පසුව නැවතත් පන්දුව අතටගත් රංගන හේරත් කඩුලු තුනක් දවාගත්ත ද ඒ වනවිට බංග්ලාදේශ පිතිකරුවෝ කඩඉම පැන සිටියහ. උප නායක සුරංග ලක්මාල් කඩුලු තුනක් දවා ගනිමින් ටෙස්ට් කඩුලු සියයට කඩුල්ලක් මෑතින් සිටියි. ලක්මාල් තවත් කඩුල්ලක් දවාගතහොත් ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ කඩුලු සියයක් දවාගත් හත්වැනි ක‍්‍රීඩකයා මෙන්ම එම දස්කම කළ සිවුවැනි වේගපන්දු යවන්නා බවට පත්වේ. සුරංග ලක්මාල් පිට පිටම පන්දු දෙකකදී මුෂ්ෆිකුර් රහීම් සහ ලින්ටන් දාස් දවා ගනිමින් දෙවැනි කඩුල්ලට ගොඩනැගුණු 236 ක සම්බන්ධතාව බිඳ නොදැම්මේ නම් ශ්‍රී ලංකාවට මීට වඩා පීඩනයක් දැරීමට සිදුවේ.

මෙහිදී බංග්ලාදේශ පිතිකරුවන් පළමු දිනයේ වේගයෙන් ලකුණු රැස්කිරීමේ සැලැස්මකට යොමුවීමෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉලක්කයට යෑම අපහසු වූ දැකගත හැකි විය. සත්කාරක බංග්ලාදේශය මෙහෙදී හසන්, සුන්ෂමුල් ඉස්ලාම් සහ තයිජුල් හසන් යන දඟපන්දු යවන්නන් තිදෙනා සමඟ තරගයට අවතීරණ වී සිටියි. චිතගොන් තණතීරුව දඟපන්දු යවන්නන්ට හිතකර යැයි පැවසුවද දෙවැනි දිනය දක්වා පිතිකරුවන්ට යෝග්‍ය තත්ත්වයක් දිස්විය. 

චන්දික හතුරුසිංහ මහතා බංග්ලාදේශයේ සිට පැමිණ ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ධුරයේ පළමු පැවරුම සාර්ථකව අවසන් කිරීම තුන්කොන් තරගාවලියේදී කැපී පෙනුණි. හතුරුසිංහ යටතේ පසුගිය වසරේ දෙකක තුනක කාලයේ ලෝක ක‍්‍රිකට් පිටියේ වඩාත් පෙරළිකාර කණ්ඩායම වූ බංග්ලාදේශය මෙම තරගාවලියේදී නැවතත් වසර හතරකට පහකට පසු පසුට තල්ලූ විය. 

අවසන් මහ තරගයට කෝඩුකාර වේගපන්දු යවන ක‍්‍රීඩක ෂෙහාන් මධුසංඛ යොදා ගැනීමත් සමඟ බොහෝ දෙනා විමතියට සහ තිගැස්මට පත්වූහ. කෙසේ වෙතත් එහිදී හතුරුසිංහගේ සැළැස්ම වැඩ කළේය. දකුණතින් වේගපන්දු යවන ෂෙහාන් අනගි පන්දු යැවීමක නිරත වෙමින් බංග්ලාදේශ පිලේ අවසන් කඩුලු තුන පිට පිටම දවා ගනිමින් බලාපොරොත්තු වූවාට වඩා ජයග‍්‍රහණය පහසු කිරීමට සමත් විය.

මහුමුදුල්ලා අන්තයක් ආරක්‍ෂා කරගනිමින් රැස්කළ ලකුණු 76 ත් සමඟ ශ්‍රී ලංකා පිල යම් තිගැස්සීමකට පත්වුවද ෂෙහාන් අනෙක් අන්තයෙන් පිට පිටම කඩුලු දෙක ලබාගැනීමත් සමඟ මහුමුදුල්ලා තනි විය. ෂෙහාන් සිය මංගල එක්දින ක‍්‍රිකට් තරගයේදී කඩුලු ත‍්‍රිත්වයක් ලබා ගනිමින් ලෝක ක‍්‍රිකට් ඉතිහාස පොතට ද එකතු විය. එහිදී ෂෙහාන්  ඕවර 6.1 ක් යවා නිලකුණු  ඕවරයක් සමගින් ලකුණු 26 කට කඩුලු තුනක් දවා ගත්තේය.

ෂෙහාන් මධුසංඛ යනු චන්දික හතුරුසිංහ පුහුණුකරු ධුරයට පත්වීමෙන් පසුව කළ සොයා ගැනීමකි. තරගාවලියට පෙර හතුරුසිංහ පැවසුවේ ෂෙහාන් අනාගත ආයෝජනයක් බවයි. බංග්ලාදේශ තුන්කොන් තරගාවලිය පුරා හතුරුසිංහ තුරුම්පුව සඟවාගෙන සිට අවසන් මහ තරගයේදී යොමු කළේය. එය ප‍්‍රතිඵල ගෙන දුන්නේය. බංග්ලාදේශ පිතිකරුවන් ෂෙහාන්ට මීට පෙර මුහුණ දී නොතිබීමේ වාසිය හතුරුසිංහ ලබා ගත්තේය.

♦ සටහන: යොහාන් භාසුර

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00