2018 ජනවාරි 27 වන සෙනසුරාදා

“බෝයගොඩ” පාඩම

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 298

ශ්‍රී ලංකා යොවුන් පිතිකරු හසිත බෝයගොඩ පසුගිය අඟහරුවාදා නවසීලන්තයේ සිටින ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි සහ ශ්‍රී ලංකා වයස 19න් පහළ ක‍්‍රිකට් පිලේ පුහුණුකරු රෝයි ඩයස් ඇතුළු නිලධාරීන්ට කන රත්වෙන්න දුන්නේය. ශ්‍රී ලංකා කණිෂ්ඨ ක‍්‍රිකට් තේරීම් කමිටුව සහ ජනමාධ්‍ය කොතරම් හඬ නැගුව ද යොවුන් ක‍්‍රිකට් පිලේ නිලධාරීහු බීරි අලින් මෙන් ඔවුන්ගේ ගමන ගියහ.

ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයෙන් පසුව අවදානමට ලක්වුවද බෝයගොඩ අවස්ථාව නොදී සන්තුෂ් ගුණතිලක තුන්ඉරියව් ක‍්‍රීඩකයකු කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියේය. බෝයගොඩගේ පිත්ත කථාකිරීමත් සමඟ යොවුන් ක‍්‍රිකට් පිලේ නිලධාරීන්ගේ සායම දියවිය. බෝයගොඩගේ ප‍්‍රහාරය ශ්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතයට හෝ හොඳක් වේ යැයි ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ආදරය කරන බොහෝ දෙනකුගේ මතය වී තිබේ.

නවසීලන්තයේදී දැන් පැවැත්වෙන වයස 19න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘පළඟ’ ශූරතාවට වැටුණු ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු හසිත බෝයගොඩ, කෙන්යාවට එරෙහිව ලකුණු 191 ක් රැස්කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය. 

ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල ලෝක කුසලාන තරගාවලියට මව්බිමෙන් පිටත්ව යන විට හසිත බෝයගොඩ යනු එම සංචිතයේ ප‍්‍රබලතම පිතිකරුය. එය එසේ වුවද තරගාවලියේ වඩාත් තරගකාරී සහ විශේෂ තරග දෙක වූ ඇෆ්ගනිස්තානයට සහ පාකිස්තානයට එරෙහිව තරගවලදී බෝයගොඩට කණ්ඩායමේ ස්ථානය අහිමි කරනු ලැබීය. 
ශ්‍රී ලංකා යොවුන් පිල පසුගිය ඉරිදා පාකිස්තානය හමුවේ ලැබූ පරාජයත් සමඟ ‘සුපිරි අට’ වටයෙන් ඉවත්වීමට සිදුවිය. ශ්‍රී ලංකාව යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ නිරන්තරයෙන් දස්කම් අතර සිටින රටක් ලෙස නම් දරා සිටියද වර්තමාන නිලධාරීන්ගේ ‘මිත‍්‍ර සංග‍්‍රහය’ හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවීමට සිදුවිය. 

මැලේසියාවේදී පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති ආසියානු කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේදී ද මෙම නිලධාරීන් පොඩි ළමයින් මෙන් ක‍්‍රියාකිරීමෙන් ශ්‍රී ලංකා පිලට පළමු වටයෙන්ම ඉවතට විසිවීමට සිදුවිය. කෙසේ වෙතත් එම නිලධාරීන්ම මෙම සංචාරයට ද සහභාගි කරවීමට ක‍්‍රිකට් බලධාරීහු කටයුතු කළහ. මෙම නිලධාරීන් තම හිතවතුන් කණ්ඩායමට ඇතුළත් කිරීමෙන් මේ වනවිට ශ්‍රී ලංකා ක‍්‍රිකට් නාමය හෑල්ලුවට ලක්කර තිබේ. ලෝක කුසලාන තරගාවලිය අවසන් කළ වහාම මේ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වා අදාළ නිලධාරීන් නෙරපීමට කටයුතු කළ යුතුය. 
වයස 19 න් පහළ කණ්ඩායම යනු ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් අනාගතය බව අමතක නොකළ යුතුය. එම කණ්ඩායමට පත්කළ යුත්තේ පුහුණුකරු මිස විවේචනය පමණක් දන්නා පුද්ගලයකු නොවන බව ක‍්‍රිකට් ආයතනය සිහිතබාගත යුතුය. නවසීලන්තයේ වෙසෙන තම ඥාතීන් බැලීමට ගිය තේරීම් කමිටු ලොක්කාද මෙම ජාතික විනාශයට සමසේ වගකිව යුතුය.

යොවුන් පිලේ පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් පිටියේ දස්කම් ප‍්‍රදර්ශනය කළ පුහුණුකරුවන් වන මහේෂ් වීරසිංහ සහ සම්පත් පෙරේරා වැනි පුහුණුකරුවන් පත්කළේ නම් ක‍්‍රිකට් අනාගතයට මීට වඩා ප‍්‍රයෝජනවත් වීමට ඉඩ තිබුණි. වර්තමාන පුහුණුකරු රෝයි ඩයස් යන නම ලොකු වුවද වැඩ ඒ තරමට නොමැති බව පසුගිය තරගාවලි කිහිපයේ ප‍්‍රතිඵලයෙන් පැහැදිලි වේ. 

සටහන: විශේෂ ලියුම්කරුවකු විසිනි