2018 ජනවාරි 20 වන සෙනසුරාදා

යොවුන් ක්‍රිකට් පිලත් අනයි: තරගත් ඇනගනියි

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 177

ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල ද ඇතැමුන්ගේ පෞද්ගලික අරමුණ ඉටුකර ගැනීමට යොදා ගැනීම හේතුවෙන් පසුගිය බදාදා වනවිට අසරණ තත්ත්වයකට ඇද වැටී තිබුණි. නවසීලන්තයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා යොවුන් පිල පසුගිය බදාදා සහභාගි වූ දෙවැනි තරගයේදී ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වීමෙන් ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලැබීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටියේය.

පාකිස්තානයට එරෙහිව පසුගිය සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබූ තරගයෙන් ශ්‍රී ලංකා පිල පරාජයට පත්වුවහොත් ප‍්‍රධාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ. ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගයට ශ්‍රී ලංකා ප‍්‍රබල යොවුන් පිතිකරුවකු වන හසිත බෝයගොඩ ක‍්‍රීඩා කළේ නැත. මෙම සංචාරයට සහභාගි වී සිටින තේරීම් කමිටු නිලධාරියකු බෝයගොඩ ඉවත්කර තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස සන්තුෂ් ගුණතිලක කණ්ඩායමට ඇතුළත් කර තිබීම ඊට හේතුවය.

සන්තුෂ් ගුණතිලක ඉදිරි පෙළ පිතිකරුවකු ලෙස සංචිතයට ඇතුළත් වුවද ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගයේදී ඔහු තුන් ඉරියව් ක‍්‍රීඩකයකු කර තිබුණි. එහිදී සන්තුෂ් අංක 8 ස්ථානයේ පන්දුවට පහර දුන්නේය. මෙම සිද්ධිය ‘කන්න ඕන උනාම කබරගොයා, තලගොයා වෙනවා’ වගේ තත්ත්වයකි. මඳවේග පන්දු යවන්නකු වන සන්තුෂ් ශ්‍රී ලංකා පිලේ තෙවැනි පන්දු යවන්නා ලෙස  ඕවර අටකදී ලකුණු 40 ක් ලබා දුන්නේය.

මෙම තරගයට ශ්‍රී ලංකා පිලට වේගපන්දු යවන්නන් පස්දෙනකු ඇතුළත්ව සිටි අතර ධනංජය ලක්‍ෂාන් පන්දු යැවීමට යොදා ගැනීමටද නොහැකි විය. වමතින් වේග පන්දු යවන කළන පෙරේරා හෝ පා දඟ පන්දු යවන හරීන් බුද්ධි මෙම තරගයට ක‍්‍රීඩා කළේ නම් ඔවුන්ට ද අංක 8 ස්ථානයේ පන්දුවට පහරදී ලකුණු 10 ක් හෝ 15 ක් රැස්කිරීමේ හැකියාව තිබිණි.

මෙම තරගාවලියට සහභාගි වූ සංචිතයට කණ්ඩායමේ ප‍්‍රධාන නිලධාරියකු මැදිහත් වීමෙන් වයස 19 න් පහළ පිලට ආධුනික ක‍්‍රීඩකයකු ඇතුළත් කිරීම ප‍්‍රසිද්ධ රහසකි. මීට මාස කීපයකට පෙර පැවැති ආසියානු කුසලාන යොවුන් ක‍්‍රිකට් තරගාවලියේදී ප‍්‍රසාද ලකුණු සටහන වරද්දා ගැනීමෙන් ශ්‍රී ලංකාවට එම තරගාවලියේ ද පළමු වටයෙන් ඉවත්වීමට සිදුවිය. එම සිද්ධිය මාධ්‍ය වාර්තා කළද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අදාළ නිලධාරීන්ට එරෙහිව ගත් පියවරක් නොමැත. අදාළ නිලධාරියා දඬුවමක් නොලැබූ වාසියෙන් ප‍්‍රයෝජනය ගනිමින් ඔහුගේ පාසලේ ක‍්‍රීඩකයකු සංචිතයට ඇතුළත් කිරීමට කටයුතු කළේය.

මෙම සංචාරය තේරීම් කමිටු නිලධාරියකු සිය පුත‍්‍රයා බැලීමේ අවස්ථාවක් බවට පත්කරගෙන ඇති අතර පාසල් ක‍්‍රිකට් සංගමයේ සභාපතිවරයා සහ භාණ්ඩාගාරිකවරයා ද පසුගිය බදාදා පස්වරුවේ නවසීලන්තය බලා පිටත්ව ගිය බව වාර්තා වේ. පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම්වරයා ද මෙම සංචාරයට පිටත්ව ගොස් සිටියි. විදේශ සංචාර මේනියාවෙන් පෙළෙන මෙවැනි නිලධාරීන්ගෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දියුණුවට යමක් බලාපොරොත්තු විය හැකිද? 

සටහන: භාසුර

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00