2018 ජනවාරි 13 වන සෙනසුරාදා

යළි නැගිටින සටන ලබන බදාදා ඇරඹෙයි

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 179

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව නව මුහුණුවරකින් ආරම්භ කිරීමට බංග්ලාදේශයේදී ලබන බදාදා ආරම්භ වන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලිය මහඟු අවස්ථාවක් බවට පත්ව තිබේ. පසුගිය වසරේ ලැබූ මාර පරාජයන් අමතක කර නැවතත් සාමාන්‍ය මානසිකත්වයට අවතීර්ණ වීමට ශ්‍රී ලංකාව මෙම තරගාවලිය යොදාගන්නවාට සැක නැත. මෙම තුන්කොන් තරගාවලියේ සෙසු කණ්ඩායම් දෙක බංග්ලාදේශය සහ සිම්බාබ්වේ වීම ශ්‍රී ලංකාවට තවත් මානසික සුවයක් ඇති කරයි. 

බංග්ලාදේශ පිලේ පුහුණුකරු ලෙස වසර කීපයක්ම කටයුතු කරමින් එහි ක‍්‍රීඩකයන් සහ ක‍්‍රීඩාංගණවල තත්ත්වය පිළිබඳව ඉහළ දැනුමක් ඇති චන්දික හතුරුසිංහ මහතාගේ ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ධූරයේ පළමු පැවරුම මෙය වීමද වඩාත් කැපී පෙනේ. 

හතුරුසිංහ තමා සතුව බංග්ලාදේශ පිලේ රහස් ඇති බව පසුගිය සඳුදා නැවතත් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේය. “බංග්ලාදේශ පිල ඔවුන්ගේ රටේ වඩාත් ශක්තිමත් තමයි. ඒත් ඒ අය කරන දේවල් මම හොඳට දන්නවා” යැයි හතුරුසිංහ පැවසීය. 

ශ්‍රී ලංකා සංචිතය ඊයේ (13) බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. චන්දික හතුරුසිංහ මහතාගේ සෘජු මැදිහත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සතුව ඇති වර්තමාන උපරිම ශක්තිය මෙම සංචිතයට මුසුවී තිබේ. මෙම තරගාවලිය සඳහා නම් කළ 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට වර්තමාන ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලතම පිතිකරුවන් වන දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් ඇතුළත්ව සිටිති.

කුසල් ජනිත් පෙරේරා ආබාධය සුව ලබා මාස හතරකට ආසන්න කාලයක් ගතවී තිබුණද ඔහු එක්දින පිලට එකතු කිරීමට තේරීම් කමිටුවට උනන්දුවක් නොතිබුණි. කෙසේ වෙතත් කුසල් පෙරේරා මෙම තරගාවලියේ සිට නැවතත් ආරම්භක පිතිකරු භූමිකාවට අවතීර්ණ වනු ඇත. හතුරුසිංහ මෙම තරගාවලියේ සිට ශ්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතය සකස් කිරීමට මුල පිරීම පැසසිය යුතුය.

කෝඩුකාර දකුණතින් වේගපන්දු යවන්නකු වන ෂෙහාන් මධුෂංඛද මෙම එක්දින සංචිතයට ඇතුළත්ව සිටියි. ඔහු මෙම සංචාරයට එක්වන විට පළමු පෙළ තරග තුනකට පමණක් ක‍්‍රීඩා කර කඩුලු 8 ක් පමණක් දවාගෙන සිටියේය. මෙවැනි නවකයන් ජාතික කණ්ඩායමට ගෙන ඒම පිළිබඳව ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලයේ දැඩි කථාබහක් නිර්මාණ වී තිබුණි. සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව කෝඩුකාරයන් රැසක් කණ්ඩායමට ගෙන ආවද ඔවුන්ට සිදුවූයේ කුමක්ද යන්න පවා කිසිවකු නොදන්නා තරම්ය.

කෙසේ වෙතත් හතුරුසිංහ පවසන්නේ ෂෙහාන් සංචිතයට ඇතුළත් කිරීම තමන්ගේ දිගුකාලීන සැලැස්මේ කොටසක් බවයි. “ෂෙහාන්ව සංචිතයට ඇතුළත් කළේ දීර්ඝ කාලීන සැලැස්මකට අනුවයි. මේ සංචිතයේ සුරංග, චමීර සහ ප‍්‍රදීප් වේගපන්දු යවන්නන් හැටියට ඉන්නවා. ඔහු තරගවලට ක‍්‍රීඩාකරයිද කියන්න බෑ. නමුත් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ එංගලන්තයේ. ඒත් අයි.සී.සී. එක හදන තණතීරු ගැන මම දන්නවා. ඒ නිසා තමයි ෂෙහාන්ව ගෙනාවේ” යැයි හතුරුසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

හතුරුසිංහ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට බුද්ධිය මුසුකරන බව බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ වර්තමාන සාර්ථකත්වය අනුව පැහැදිලි වේ. ඔහු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගොඩට ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති.

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයට පත්වීමෙන් පසුව පැවසුවේ ‘හතු අයියා’ වැඩ කරන විදිය මම දන්නවා. ඔහුත් එක්ක වැඩ කරන්න පහසුයි යනුවෙනි. තවද තමන් නැවත නායකත්වය බාර ගැනීමටද නව පුහුණුකරු හේතුවක් වූ බව ද මැතිව්ස් පැවසීය. හතුරුසිංහ, මැතිව්ස්, චන්දිමාල් සහයෝගයෙන් ගොඩනැගුණු වර්තමාන ශ්‍රී ලංකා පිලට නැවතත් හිස එවීමේ හැකියාව ලැබේ යැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීහු මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලාධාරීහු ද විශ්වාසයෙන් පසුවෙති.

ශ‍්‍රී ලංකා එක්දින සංචිතය:

ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අසේල ගුණරත්න, තිසර පෙරේරා, ලක්‍ෂාන් සඳකැන්, ෂෙහාන් මධුෂංඛ, සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප් දුෂ්මන්ත චමීර, අකිල ධනංජය සහ වනිඳු හසරංග

සටහන: යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00