2018 ජනවාරි 13 වන සෙනසුරාදා

මැතිව්ස් කැමති අකමැති අය!

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 236

“අපි දෙන්නා කණ්ඩායම වෙනුවෙන් කරන්න ඕන දේවල් කරනවා. සමහර අය කැමති වෙයි. සමහර අය අකමැති වෙයි. ඒවා අපිට කරන්න දෙයක් නෑ’’ ඇන්ජලෝ මැතිව්ස් නැවතත් නායකත්වයට පත්වීමෙන් පසුව පසුගිය සඳුදා පැවැති මාධ්‍ය හමුවේදී කළ ඉහත ප‍්‍රකාශය බැහැර කළ නොහැක.

ඇන්ජලෝ මැතිව්ස් පසුගිය වසරේ ජූනි මස සිම්බාබ්වේ තරගාවලියේ පරාජයෙන් පසුව නායකත්වයෙන් ඉල්ලා අස්වීමට හේතු රැසක් තිබුණි. ඔහුට එරෙහිව ඇතැමුන් කළ ප‍්‍රකාශ සම්බන්ධයෙන් මැතිව්ස් දැඩි සිත්තැවුලට පත්ව සිටි බව ඔහුගේ සමීපතමයෝ පැවසූහ. ඇතැම් හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් කිසිදු පදනමකින් තොරව වර්තමාන ක‍්‍රීඩකයන්ට තරග පවාදෙන බවට කළ චෝදනා පිළිබඳව මැතිව්ස් දැඩි සිත්තැවුලට පත්ව සිටි බව ද දැනගන්නට තිබේ.

තවද ඇතැම් ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබානොදීම සම්බන්ධයෙන් මැතිව්ස්ට චෝදනා එල්ල වී තිබුණි. එම චෝදනා සම්බන්ධයෙන්ද ඔහු සිත්තැවුලට පත්ව සිටියේය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඇතැම්හු මැතිව්ස් සහ ඔහුගේ කළමනාකරු සම්බන්ධව තොරතුරු මාධ්‍යයට ලබාදෙමින් අපහසුතාවට පත්කිරීමේ මෙහෙයුමක් පසුගිය වසර මුලදී ක‍්‍රියාත්මක කළහ.

මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් හඳුන්වන අනෙක් පුද්ගලයා නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාය. එම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේ හතුරුසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව මැතිව්ස්ට නැවතත් නායකත්වයට ආරාධනා කළ බවයි. 

“පුහුණුකරු සහ නායකයා අතර විශ්වාසය තියෙන්නෙ ඕනේ අපි දෙන්නා අතර ඒක හොඳට තියෙනවා. අපි දෙන්නා කණ්ඩායම වෙනුවෙන් කරන්න  ඕන දේවල් කරනවා. රට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා.”
“මම නායකත්වය අතහැරියේ නැවත එන්න බලාගෙන නොවෙයි. ලෝක කුසලාන තරගාවලියට තව මාස 18 න් තියෙනවා. පසුගිය කාලේ කණ්ඩායමේ ස්ථාවරත්වය පොඩ්ඩක් වැටුණා. ඒකට කාටවත් දොස් කියලා වැඩක් නෑ” යැයි එහිදී මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

මෙම ප‍්‍රකාශ තුළින් පැහැදිලි වන්නේ මැතිව්ස් මෙවර හතුරුසිංහ සමඟ එකතුව සැබෑ වෙනසක් කිරීමට සූදානම් වන බවයි. තවද මැතිව්ස් නායකයා ලෙස කටයුතු කරන කාලයේ හිටපු විදේශීය පුහුණුකරුවන් සමඟ හොඳ අවබෝධයකින් කටයුතු කර නොමැති බවද එම ප‍්‍රකාශවලින් පැහැදිලි වේ. 

ධුරය අතහැර ගිය හිටපු පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඩ් සහ මැතිව්ස් අතර අර්බුදයක් පැවති බව එවකට දැනගන්නට තිබුණි. කෙසේ නමුත් මැතිව්ස්ට දැන් තමන්ට අවශ්‍ය ශක්තිමත්ම කණ්ඩායම සමඟ පිටියට බැසීමට අවස්ථාව සහ නිදහස ලැබී තිබේ.

සටහන: විශේෂ ලියුම්කරුවකු විසිනි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00