2018 ජනවාරි 06 වන සෙනසුරාදා

ඔලිම්පික් කමිටුවේ නිලවරණයට දිගටම බාලගිරි දෝෂය

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය ලබන පෙබරවාරි මස පැවැත්වීමට ද මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබූ එම කමිටුවේ විශේෂ මහ සභාවේදී නිලවරණය පෙබරවාරි පැවැත්විය නොහැකි බව ප‍්‍රකාශ කිරීමට නියමිතව තිබුණි. ජාතික ඔලිම්පික් කමිටුවේ මුදල්වලට සම්බන්ධ ප‍්‍රධාන තනතුරක් දරන නිලධාරියකු පැවසුවේ මූල්‍ය වාර්තාවලට විගණකාධිපතිවරයාගේ අනුමැති ලැබීමේ ප‍්‍රමාදය මෙයට හේතුව බවයි.

එම කමිටුවේ ප‍්‍රධාන තනතුරු දෙකක් දරණ නිලධාරීන් දෙපළකට ක‍්‍රීඩා නීතිය අනුව නැවත නිලවරණයට ඉදිරිපත් විය නොහැකි බවට ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබුණි. නව ක‍්‍රීඩා නීතියට අනුව කිසියම් ගිණුම් වාර්තා නියමිත කාලයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ක‍්‍රීඩා සංගමයක සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන තිදෙනා නිලවරණයට ඉදිරිපත්වීමට නුසුදුස්සන් බවට පත්වෙති. එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබුණේ රටේ ක‍්‍රීඩා නීතිය ජාතික ඔලිම්පික් කමිටුවට අදාළ වන බවයි.

ජාතික ඔලිම්පික් කමිටුව 2012 වසරේ සිට ගිණුම් වාර්තා නිසි කාලයට ඉදිරිපත්කර නොමැති අතර මේ වනවිට වසර කීපයක ගිණුම් වාර්තා අනුමැතිය සඳහා විගණකාධිපතිවරයාට යොමුකර තිබේ. මෙම නිලධාරීන් දෙපළ පසුගියදා පැවැති නිලවරණවලදී ජාතික සංගම් දෙකක ප‍්‍රධාන තනතුරුවලට ද පත්ව සිටියත් නව නීතියට අනුව ඔවුන්ට නව තනතුරුවලට ද පත්විය නොහැක. එසේ වුවහොත් එම නිලධාරීන්ට එම තනතුරු ද අහිමිවීමේ දැඩි අවදානමක් තිබේ. 
කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ ඔලිම්පික් නිලවරණයේ බාලගිරි දෝසය තවත් දීර්ඝවීම වැළැක්විය නොහැක. අදාළ නිලධාරීන් දෙපළ මෙවර නිලවරණයේදී නැවතත් ප‍්‍රධාන තනතුරු දෙකකට ඉදිරිපත්වීමට සූදානමින් සිටින අතර ඔවුන්ට නිලවරණයට ඉදිරිපත් විය නොහැකි යැයි ක‍්‍රීඩා අමාත්‍යංශය තීරණය කළහොත් ප‍්‍රශ්නය අධිකරණයට යෑමට ඉඩ තිබේ.

සටහන: වරකාගොඩ ගමගේ