2017 ජනවාරි 07 වන සෙනසුරාදා

තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව තරගාවලිය පරදී - ධනංජයගේ (නො)දැවී යාමේදී මැතිව්ස් අහක බලයි

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 341

දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ මාර පරාජයට වඩා ධනංජය ද සිල්වා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යෑමේ සිද්ධිය වැඩි කතාබහට ලක්ව තිබේ.  එම දැවී යෑම සිදුවන විට නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්නාගේ අන්තයේ පිතිකරු ලෙස සිටියදී විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථා නොගැනීම පිළිබඳව මැතිව්ස්ටද චෝදනා එල්ල වී තිබුණි. 

ධනංජය ද සිල්වා පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 43ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 22 ක් රැස්කරමින් දස්කම් දැක්වූ පිතිකරුවකු වීම නිසා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීහු මේ සිදුවීමෙන් දැඩි පසු තැවිල්ලට පත්ව සිටිති.  

ධනංජය ද සිල්වා ලකුණු 22ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යෑමෙන් පසුව එම පන්දුව පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති කමින් හෝ එසේත් නැත්නම් ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රතිචාරයක් නොදැක්වීම නිසා හෝ පිටියෙන් ඉවත්ව ගියේය.

වේග පන්දු යවන කාගිසෝ රබාඩා යැවූ එම පන්දුව ෆුල්ටොස් පන්දුවක් ලෙස ධනංජයගේ පා ආවරණයේ වැදුණි. කෙසේ වෙතත් එය පා ඉන්නෙන් පිටත වැදුණු බව ඇන්ජලෝ මැතිව්ස්ට හොඳින් දර්ශනය විය යුතුය. 

එම පන්දුවේ හැසිරීම පිළිබඳව ‘හෝක් අයි’ තාක්‍ෂණයෙන් ලබාගත් පුනරූපණවලින් දැකගත හැකි වූයේ එය කඩුල්ලේ නොවැදී අඟල් කීපයක් පිටතට දෝලනය වන බවයි. ඒ අනුව එය විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථාවට යොමු කළේ නම් අනිවාර් යෙන්ම ප‍්‍රධාන විනිසුරු තීරණය ප‍්‍රතික්ෂේප වෙයි.  

ශ්‍රී ලංකා පිල සතුව ඒ වන විටත් විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථා දෙකම පැවැති ද ධනංජය ඉල්ලීමක් නොකරම ක‍්‍රීඩාගාරයේ අසුන් ගත්තේය. 

එහි පුනරූපණ රූපවාහිනියේ විකාශය කළ විට ශ්‍රී ලංකා විවේකාගාරයේ සිටි බොහෝ දෙනෙක් හිස් බදාගත්හ.
ශ්‍රී ලංකා පිල විනිසුරු තීරණ නැවත විමසීම ආරම්භයේ සිටම නිසි අවස්ථාවේදී භාවිත නොකළ බව බොහෝ දෙනකුගේ මතයයි. මෙය ද එහි උච්ච අවස්ථාවකි.  

දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන්නන් කේප් ටවුන් තණතීරුවේ දැක්වූ වික‍්‍රමය හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගය සිවුදින තරගයකට පොඩ්ඩක් වැඩි විය. ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 282කින් පරාජයට පත්වීමෙන් ටෙස්ට් තරගාවලියේ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුව තිබේ. 

කේප් ටවුන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ පසුගිය බඳාදා පස්වරුව වන විට ශ්‍රී ලංකා පිලට ජයග‍්‍රහණය සඳහා ලකුණු 507ක දැවැන්ත ඉලක්කයක් බාරවිය.

දකුණු අප‍්‍රිකාව පළමු ඉනිමේදී ලකුණු 282ක වාසියක් ලබාගත්තද ශ්‍රී ලංකාවට පිට පිටම පන්දුවට පහරදීමේ අවස්ථාව නොදී මෙවැනි දැවැන්ත ඉලක්කයක් ලබාදීම වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහරදීම ද කැපී පෙනුණි. 

ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධානතම පිතිකරුවන් දකුණු අප‍්‍රිකානු දඟ පන්දු යවන ක‍්‍රීඩක කේෂව් මහාරාජ් හමුවේ කඩුලු පූජා කිරීම ශ්‍රී ලංකාව පැවැත්තෙන් පාඩුවක් බවට පත්විය. මෙම පරාජයට පිතිකරුවන්ගේ අසාර්ථකත්වය වඩාත් බලපෑ බව අමුතුවෙන් කිවයුතු නැත. පළමු ඉනිමේදී ලකුණු 110කට දැවී යෑමෙන් පසුව දකුණු අප‍්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගයක් බේරාගැනීමට නම් පොරළියක් සිදුවිය යුතුමය. 

වේග පන්දු යවන කගීසෝ රබාඩා සහ වර්නන් ෆිලැන්ඩර් කඩුලු අටක් බෙදා ගනිමින් සත්කාරත්වයේ වාසිය ගෙඩිය පිටින් අත්පත් කර ගත්හ. 

දකුණු අප‍්‍රිකානු පළමු ඉනිමේ කඩුලු පහක් ලකුණු 169කට දවා ගනිමින් ශ්‍රී ලංකාව ආරම්භයේ සිට යම් පාලනයකට නතු කරගෙන සිටියද ක්වින්ටින් ඩී කොක් සහ ඩීන් එල්ගා හයවැනි කඩුල්ලට පන්දු 143කදී වේගවත් ලකුණු 103ක සම්බන්ධතාවක් පැවැත්වීමෙන් ග‍්‍රහණය ගිලිහී ගියේය. 

ශ්‍රී ලංකා පිලට කොක් සහ එල්ගා පාලනය කිරීමට හැකි වූයේ නම් අවම වශයෙන් තරගය දින පහක ටෙස්ට් තරගයක් බවට හෝ පත්කිරීමේ අවස්ථාව තිබුණි. 

යොවුන් වේග පන්දු යවන ක‍්‍රීඩක ළහිරු කුමාර පළමු ඉනිමේදී කඩුලු 6 ක් දවා ගනිමින් දැක්වූ දස්කම් ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේ ඇගයීමට ලක්විය. එහිදී ළහිරු කුමාරගේ පන්දුව හෂීම් අම්ලාගේ කඩුල්ල සොයා ගිය ආකාරය හෂීම් අම්ලා දැනටත් සිතාගත නොහැකි වනවාට සැක නැත.

ළහිරු කුමාර, දකුණු අප‍්‍රිකාවේදී කඩුලු පහක් දවාගත් සිවුවැනි ශ්‍රී ලාංකික වේගපන්දු යවන්නා බවට මෙහිදී ඉතිහාසයට එක්විය. මීට පෙර චානක වෙලගෙදර, දිල්හාර ප‍්‍රනාන්දු සහ සුරංග ලක්මාල් දකුණු අප‍්‍රිකාවේදී කඩුලු පහ සමාජයට එක්ව සිටියහ.

සුරංග ලක්මාල් ද මෙම ටෙස්ට් තරගාවලියේ පැවැති තරග දෙකේදීම හැකි උපරිමය ලබාදුන් බව කිවයුතුය. ලක්මාල් දෙවැනි ඉනිමේදී කඩුලු 4ක් දවා ගත්තද ඒ වන විටත් තරගය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගොස් අවසන්ය. 

මෙම ටෙස්ට් තරගාවලියේද ශ්‍රී ලංකා පිල අසාර්ථක වී අවසන්ය. විදේශයකදී ප‍්‍රබල කණ්ඩායමකට එරෙහිව ටෙස්ට් තරගයක් ජයක් ලැබීමට තරුණ ශ්‍රී ලංකා පිලට කොතරම් කාලයක් ගතවේද යන්න පිළිතුරක් නොමැති ප‍්‍රශ්නයකි.  

♦ වරකාගොඩ ගමගේ

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00