2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

එක්දින පිලේ නායකත්වයට හතුරුසිංහ-ලැබ්රෝයි හැප්පෙති

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 605

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි අතර ශ‍්‍රී ලංකා එක්දින පිලේ නායකයා පත්කිරීම සම්බන්ධයෙන් ගැටලුවත් නිර්මාණය වී ඇති බව පසුගිය සතියේ දැනගන්නට ලැබුණි. එම ගැටුම මේ වනවිට ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල සහ ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරු වෙතට යොමු වී ඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා එක්දින පිලට නැවතත් නායකයකු පත්කිරීම පිළිබඳව කථාබහක් නිර්මාණය වී තිබේ. එංගලන්තයේදී 2019 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට තවත් වසරක පමණ කාලයක් ඉතිරිව ඇති අතර එම තරගාවලිය දක්වා ස්ථිර නායකයකු පත්කිරීම දැන් ප‍්‍රධානම ගැටලුව බවට පත්ව තිබේ.

චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටුව අතර පසුගියදා පැවැති පළමු හමුවේදීම එක්දින පිලේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් හෝ දිනේෂ් චන්දිමාල් පත්කරන ලෙස ඉල්ලා තිබිණි. මෙහිදී හතුරුසිංහගේ පළමු තේරීම බවට පත්ව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ය. ඔහු නායකත්වය භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කළහොත් චන්දිමාල් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතා එම යෝජනාවට විරෝධය දක්වා ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් තිසර පෙරේරා සමඟ තමන්ට සාර්ථක ගමනක් යා නොහැකි බවට හතුරුසිංහ මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානීන්ට දන්වා ඇති බවත් එයට සාර්ථක ප‍්‍රතිචාරයක් මේ වනවිටත් ක‍්‍රිකට් ප‍්‍රධානීන් දක්වා ඇති බවත් වාර්තා වේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ජනවාරි මස 7 වැනිදා පවත්වන විශේෂ මහ සභාවේදී පුහුණුකරු තේරීම් කමිටු සාමාජිකයකු ලෙස පත්කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව නායකත්වයේ වෙනසක් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු විය හැකිය. 

බංග්ලාදේශයේදී ලබන ජනවාරි මස 17 වැනිදා ආරම්භ වන තුන්කොන් එක්දින තරගාවලිය සඳහා මැතිව්ස් හෝ චන්දිමාල් නැවතත් එක්දින පිලේ නායකත්වයට පත්වීමට වැඩි ඉඩකඩක් තිබේ. මැතිව්ස් නායකත්වය නැවත බාර ගැනීමට මෙම සටහන තබන මොහොත වනවිටත් කැමැත්ත පළකර නොතිබුණු බව දැනගන්නට තිබූ අතර මැතිව්ස් නායකත්වයට පත්වුවහොත් චන්දිමාල් උපනායකයා ලෙස පත්වීමට ඉඩ තිබේ. චන්දිමාල් නායකයා ලෙස පත්වුවහොත් තිසර පෙරේරා උපනායකයා ලෙස පත්වීමට ඉඩ තිබේ.

කෙසේ වෙතත් මෙම නායකත්වයේ ප‍්‍රශ්නය ඉදිරි සතිය තුළ විසඳාගත යුතුව තිබේ. තේරීම් කමිටු සභාපතිවරයා මාධ්‍ය වෙත පවසා තිබුණේ පත්කරන නායකයාගේ හැකියාව මත ඔහු 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා නායකත්වයේ තබා ගන්නවා ද යන්න තීරණය කරන බවයි.

ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් අතරින් නායකත්වයට වඩාත් සුදුස්සා වන්නේ මැතිව්ස් බව තර්කයක් නැත. මැතිව්ස් එක්දින තරග 98 කදී නායකයා ලෙස කටයුතු කරමින් තරග 47 ක් ජයග‍්‍රහණය දක්වා මෙහෙයවා තිබේ. ශ‍්‍රී ලංකාවේදී පසුගිය ජූනි මස සිම්බාබ්වේට එරෙහිව එක්දින තරගාවලියේ පරාජයෙන් පසුව මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්විය. මැතිව්ස් නැවත නායකත්වය බාර ගැනීමට වැඩි කැමැත්තක් නොමැති බව වාර්තා වේ.

කවුරු නායකයා වුවත් චන්දිමාල්ට එහි ප‍්‍රශ්නයක් නොමැත. චන්දිමාල් යනු තනතුරු බලාපොරොත්තු වන ක‍්‍රීඩකයකු නොවේ. ශ‍්‍රී ලංකාව මාර පරාජයක් ලැබූ මෙම වසරේ (2017) එක්දින පිලේ නායකයන් පස්දෙනකු කටයුතු කර තිබේ. ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, ලසිත් මාලිංග, චාමර කපුගෙදර සහ තිසර පෙරේරා එම නායකයෝ වෙති.

ශ‍්‍රී ලංකා එක්දින පිල මෙම වසරේ සහභාගි වූ එක්දින තරග 29 න් 23 ක් පරාජයට පත්ව ඇති අතර තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ඉන්දියාවට සහ සිම්බාබ්වේට එරෙහිව තරග දෙක බැගින් ද, බංග්ලාදේශයට එරෙහිව තරගයක් ද, ලෙස ශ‍්‍රී ලංකාව තරග පහක් පමණක් ජය ලබා තිබේ. නායකයන්ගේ මාරුව ද මෙම දැවැන්ත පරාජයට හේතුවක් ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සහභාගි වන මෙම තුන්කොන් තරගාවලියේ පළමු තරගය ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ජනවාරි 17 වැනිදා ඩකාහිදී පැවැත්වීමට නියමිතය. මෙම තුන්කොන් තරගාවලිය ඉලක්ක කරමින් 23 දෙනකුගෙන් යුත් සංචිතයක් නම්කර තිබූ අතර එයට ලසිත් මාලිංග සහ ළහිරු තිරිමාන්න ඇතුළත් නොවූහ. ෂෙහාන් මධුසංඛ නැමැති ක‍්‍රීඩකයකු මෙම සංචිතයට ඇතුළත්ව සිටි අතර ඔහු ටී10 තරගාවලියේදී දස්කම් දැක්වූ ක‍්‍රීඩකයකු බව දැනගන්නට තිබේ. 

ශ‍්‍රී ලංකා එක්දින සංචිතය හතුරුසිංහ යටතේ කොළඹ ආර්. ‍ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේදී පසුගිය බ‍්‍රහස්පතින්දා පළමු පුහුණු සැසියට සහභාගි විය. මෙම සංචිතයේ ක‍්‍රීඩකයන්ට දැන් පැවැත්වෙන දේශීය පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි නොවන ලෙස ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනුම් දී තිබුණි. 

ශ‍්‍රී ලංකාව එම තරගාවලියෙන් පසුව බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග දෙකකට සහ විස්සයි20 තරග දෙකකට සහභාගි වීමට නියමිතය. 

♦ යොහාන් භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00