2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

ක්‍රිකට් පරිපාලනයේ මුල් හොල්ලන විශේෂ රැස්වීම

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයේ ලොකු පුටු කීපයක් ලබන ජනවාරි මස පැවැත්වෙන එහි විශේෂ මහා රුස්වීමේදී සෙළවීමට නියමිතය. දැනටමත් විධායක කමිටුව නියෝජනය කරන නිලධාරියකු මේට්ලන්ඩ් පෙදෙස ක‍්‍රිකට් මූලස්ථානයට වැටෙන් පැනීමට සූදානමින් සිටියි. එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී ලබන ජනවාරි මස 7 වැනිදා පැවැත්වීමට නියමිත විවාදාත්මක විශේෂ මහා සභාව පිළිබඳව මේ වනවිට සාමාජික ක‍්‍රීඩා සමාජවලට නිල වශයෙන් දැනුම්දී ඇති බව දැනගන්නට තිබේ. 

මෙම විශේෂ මහ සභා රැස්වීමේදී තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන පරිපාලනය ඉදිරි වසර දෙකක් සඳහා යෝජනා ස්ථිරත්වයෙන් කාලය දීර්ඝ කරගැනීමට සූදානම් වන බවට කථා පැතිර ගියේය. ඒ හේතුවෙන් මෙම විශේෂ සහ සභාව වඩාත් අවධානයට යොමු වී තිබේ. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ වර්තමාන පරිපාලනයට ලබන වසරේ මැයි මස දක්වා පාලනයේ සිටිය හැකි බවත් ඉන්පසුව නිලවරණයකට යාහැකි බවයි. 

මේ විශේෂ මහ සභා රුස්වීමේදී පරිපාලනයේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාවක් නෑ. මෙහිදී ප‍්‍රධාන වශයෙන් වෙන්නේ දැනට හිස්වෙලා තියෙන තනතුරු කීපයක් පිරවීම සහ තනතුරු කීපයක් වෙනස්වීමයි. තවද විශේෂ පරිපාලන තීන්දු කීපයක්ද ගන්න සූදානමින් ඉන්නවා” යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන ලේකම් මොහාන් ද සිල්වා මහතා දැනට පුරප්පාඩු වී ඇතැයි කියන උප සභාපති ධූරයට මෙහිදී පත්වීමට නියමිතය. මොහාන් මහතාට ඒ සමඟම දේශිය ක‍්‍රිකට් පරිපානය බාරවීමට ද මේ දක්වා දේශීය ක‍්‍රිකට් පාලනය කළ උප සභාපති කේ. මතිවානන් මහතාට පූර්ණ වශයෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් පරිපාලනය බාරදීමට ද නියමිතව බව වාර්තා වේ. 

ජයන්ත ධර්මදාස මහතා උප සභාපති ධූරයෙන් ඉවත්ව විධායක කමිටු රැස්වීමට සහභාගි නොවීම හේතුවෙන් ඒ මහතා කටයුතු කළ ජාත්‍යන්තර ක‍්‍රිකට් බාර නිලධාරි තනතුරේ කටයුතු ද මතිවානන් මහතා ආවරණය කළේය. උප සභාපති ධූරයකට වැඩි ඡන්දයෙන් පත්ව කටයුතු කළ ජයන්ත ධර්මදාස මහතා මීට වසරකට ආසන්න කාලයකට පෙර තමන් උප සභාපති ධූරයෙන් ඉවත් වන බවට විධායක කමිටුවට දැනුම්දී තිබුණි. ඒ මහතා මීට මාස කීපයකට පෙර ඒම මහතාගේ ක‍්‍රිකට් මූලස්ථානයේ නිල කාර්යාලයේ බඩු බාහිරාදිය ද ගෙනගොස් තිබුණි. කෙසේ වෙතත් ජයන්ත ධර්මදාස මේ දක්වා කිසිදු අවස්ථාවක තමන් උප සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවට ප‍්‍රසිද්ධ නිල ප‍්‍රකාශයක් කර නොමැත.

ජයන්ත ධර්මදාස මහතාගේ ප‍්‍රධානම සගයන් දෙදෙනාගෙන් කෙනකු වන විධායක කමිටු සාමාජික ප‍්‍රියන්ත අල්ගම මහතා ද විශේෂ මහ සභාවට පෙර විධායක කමිටුවෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව ද වාර්තා වේ. එසේ වුවහොත් විධායක කමිටුවේ තොරතුරු ධර්මදාස මහතාට පහසුවෙන් ලැබෙන මාර්ගය ඇහිරීමට බොහෝදුරට ඉඩ ඇති බැවින් එය හුදෙක්ම කටකථාවක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනය පත්වූ පසුගිය වසරේ (2016) ජනවාරි 3 වැනි දින පැවැති නිලවරණයෙන් සති කීපයක් ගතවීමට පෙර ‘රණතුංග පාර්ශවයට’ එරෙහිව එකට තරග කළ ‘තිලංග’ පාර්ශවය සහ ‘ජයන්ත ධර්මදාස’ පාර්ශවය අතර විවිධ තනතුරුවලට පත්කිරීම් සහ පළාත් සහ දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගම්වල තනතුරු සම්බන්ධයෙන් ගැටුම් නිර්මාණය විය. මීට වසරකට පමණ පෙර ගාල්ල දිස්ත‍්‍රික් සංගමයේ තනතුරැවලට ‘ජයන්ත ධර්මදාස’ පාර්ශවයෙන් පත්වීමට සූදානම්ව සිටි නිලධාරීන් පරාජය කරමින් ‘තිලංග’ පාර්ශවයේ පිරිසක් පත්වීම අර්බුදයේ උච්ඡතම අවස්ථාවක් බවට පත්විය. 

පුරප්පාඩු වන ලේකම් ධූරයට බොහෝ විට එස්.එස්.සී. ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන සමන්ත දොඩන්වල මහතා පත්වීමට ඉඩ තිබේ. ලේකම් ධූරයට ගුවන් හමුදාව නියෝජනය කරන රොෂාන් බියන්වල මහතාගේ නමද කියවන අතර එසේ වුවද දොඩන්වල මහතා පත්වීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ. රවීන් වික‍්‍රමරත්න මහතා දරණ උප ලේකම් ධූරය සහ ශම්මි සිල්වා මහතා දරණ භාණ්ඩාගාරික ධූරය වෙනස්වන බවට කථා පැතිර ගියද ලබන නිලවරණය දක්වා එවැනි වෙනසක් නොවනු ඇති බවට ක‍්‍රිකට් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.  

මෙම විශේෂ මහ සභා රැස්වීමේදී දේශීය ක‍්‍රිකට් සහ ක‍්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිත බව ද වාර්තා වේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවේ ප‍්‍රධාන තනතුරක් දරණ නිලධාරියකු ‘දේශය’යට පැවසුවේ ඇතැමුන් මෙම විශේෂ මහ සභාව ‘බිල්ලකු’ බවට පත්කරමින් සිටින බවයි. ඡන්දයෙන් පරිපාලනයට එන්න බැරි පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි බිල්ලෝ මවන්නේ. අපි නැවත පරිපාලනයට එන්නෙත් ඡන්දයෙන් තමයි” යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

කවුරුන් තනතුරුවලට පත්වුවද කම් නැත. එය ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සංවර්ධනයට හේතුවේ නම් යනු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීන්ගේ මතයයි.  

විශේෂ ලියුම්කරුවකු විසිනි