2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

නවක ක්‍රීඩකයෝ වැඩ පෙන්වා තරගය ගොඩ දමති

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

ඉන්දියාවට 1-0ක තරගමාලා ජයක්

දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් ශතක රැස්කරමින් නැවතත් ලකුණු අතරට පැමිණීම ශ්‍රී ලංකාවට සැනසීමකි. නවදිල්ලිහි ෆෙරෝෂා කොට්ලා ක‍්‍රීඩාංගණයේදී පසුගිය බදාදා ඉන්දියාවට එරෙහිව අවසන් වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ ප‍්‍රතිඵලය වෙනස් කිරීමට චන්දිමාල් සහ මැතිව්ස් යුසංයෝගයේ පළමු ඉනිමේ පිතිහරඹය ප‍්‍රධාන සාධකය බවට පත්විය.

ඉන්දීය බලාපොරොත්තු සුන් කරමින් තරුණ ක‍්‍රිඩකයන් වන ධනංජය සිල්වා (119), රොෂේන් සිල්වා (නොදැවී 74) සහ නිරෝෂන් දික්වැල්ල (නොදැවී 44) දෙවැනි ඉනිමේ සාර්ථක වෙමින් තරගය විසඳුමකින් තොරව අවසන් කිරීමේදී විශාල කාර්යභාරයක් ඉටුකළහ. මේ අතර දෙවැනි ඉනිමේදී ඇන්ජලෝ මැතිව්ස් නිපන්දුවකට දැවීයෑම පිළිබඳව ඉන්දීය ජාතික විනිසුරුවරයාට චෝදනා එල්ලවිය.  

මෙම විවාදාත්මක ටෙස්ට් තරගයෙන් ඉනිමක පරාජයෙන් ගැලවීමට ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ලකුණු 336 ක් රැස්කළ යුතුව තිබුණි. ලකුණු 75 කට කඩුලු තුනක් දැවී සිටියදී චන්දිමාල් සහ මැතිව්ස් සිව්වැනි කඩුල්ලට ලකුණු 181 ක සම්බන්ධතාවක් පවත්වමින් එම අභියෝගය ජය ගත්හ.

සදීර සමරවික‍්‍රම ෂෝට් ලෙග් ස්ථානයේ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ක‍්‍රිකට් නීති රීතිවලට අනුව ඔහුට ආරම්භක පිතිකරු ලෙස පන්දුවට පහරදීමට පැමිණීමට නොහැකි විය. ඒ හේතුවෙන් ඩිල්රුවන් පෙරේරා ඉනිම ආරම්භ කරමින් රැස්කළ ලකුණු 42 කද වඩාත් ප‍්‍රයෝජනවත් විය. 

මෙම තරගයේදී ටෙස්ට් වරම් ලැබූ රොෂේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවී නොගියේ නම් පළමු ඉනිමේදීම ඉන්දියාව අමාරැවේ දැමීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට තිබුණි. ඉන්දියාව 1x0 කින් තරගාවලිය ජය ලැබූව ද මෙය 3x0 කින් ජය ලැබීමට නායක විරාට් කෝලි සැළසුම්කර සිටියාට සැක නැත. නමුත් මේ වනවිට එම බලාපොරොත්තුව විනාශ වී හමාරය.

අද ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට ඉන්දීය තුරුම්පු ආසියා වන නායක විරාට් කෝලි සහභාගි නොවන අතර රෝහිත් ශර්මා නායකයා ලෙස කටයුතු කරයි. මෙම එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වී ඇත්තේ ශ්‍රී ලංකාව අවසානයට සහභාගි වූ එක්දින තරග 12 ම පරාජයට පත්ව සිටීම නිසාය.  ධර්ම්සාලාහිදී අද පැවැත්වෙන තරගයෙන් ජය ලබා පරාජිත වාර්තාව කණ්ඩනය කිරීමේ අභියෝගය තිසර පෙරේරාට බාරව තිබේ. 
මෙම එක්දින දෙවැනි සහ තෙවැනි තරග 13 සහ 17 යන දිනවල පිළිවෙළින් මොහාලි සහ විශාඛාපට්නම්හිදී දිවා රාත‍්‍රී තරගය ලෙස පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය:

තිසර පෙරේරා (නායක), කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, සදීර සමරවික‍්‍රම, අසේල ගුණරත්න, ධනංජය ද සිල්වා, ළහිරු තිරිමාන්න, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ නුවන් ප‍්‍රදිප්

සටහන: වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00