2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ලක්මාල්-දසුන් ඉන්දියාවේ කොන්ද කඩයි

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ වර්තමාන කෙරුම්කරුවන් වන ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග තුන ජය පරාජයෙන් තොරව අවසන් කිරීමේ අභියෝගය දිනේෂ් චන්දිමාල් ප‍්‍රමුඛ ශ්‍රී ලංකා පිල මුහුණදී සිටියි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරග 41 ක් පවත්වා තිබුණද ශ්‍රී ලංකාව මේ දක්වා ඉන්දියාවේදී ටෙස්ට් තරගයක් ජය ලබා නැත. දිනේෂ් චන්දිමාල් මෙම සංචාරය ආරම්භයේ සිට ටෙස්ට් ජයක් පිළිබඳව ප‍්‍රකාශ කරන අතර ඉන්දියාවට ගිය පසුවද එම ප‍්‍රකාශයේ වෙනසක් නොවීය. 

චන්දිමාල් උපන්ගෙයි ආත්මශක්තියකින් පරිපූර්ණ ක‍්‍රීඩකයෙක් මෙන්ම දැඩි සටන්කාමියෙකි. පාකිස්තානය පරාජය කිරීමෙන් ලැබූ ශක්තිය චන්දිමාල්ගේ ඇඟේ තවමත් තිබීමෙන් මෙහිදී ජයග‍්‍රහණ පිළිබඳව බලාපොරොත්තුවක් ඔහුගේ සිතේ ඇතුවාට සැක නැත.

ඉන්දියාවට එරෙහිව පසුගිය බ‍්‍රහස්පතින්දා කොල්කටාහිදී ආරම්භ වූ තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් කිරීමට ශ්‍රී ලංකා පිලට හැකි වුවහොත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමේ අවස්ථාව උදාවී වේ. ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් කළහොත් ප‍්‍රසාද ලකුණු 3ක් හිමිවීමෙන් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 97 ක් දක්වා ඉහළට ගැනීමේ අවස්ථාව උදාවේ. ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 94 ක් ලබා ශ්‍රේණිගත කිරිමේ හයවැනි ස්ථානයේ පසු වෙයි.

ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේදී ප‍්‍රබල ඉන්දීය පිල 3x0 කින් පරාජය කළහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 101 ක් දක්වාද, 2-x0 ක් ලෙස ජය ලැබුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 100 ක් දක්වාද, ඉහළ දමා ගැනීමේ අවස්ථාව තිබේ. එසේ වුවහොත් අපහසුවකින් තොරව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයට උසස්වීම් ලැබීමේ අවස්ථාව ලැබේ. ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින ඉන්දියාව සතුව ප‍්‍රසාද ලකුණු 125 ක් තිබේ. ඉන්දියාව ප‍්‍රසාද ලකුණු හිමිකර ගැනීමට නම් 3x0 ජයක් ලැබිය යුතුය.

ඊඩ්න් ගාර්ඩ්න් ටෙස්ට් තරගයේ පළමු දිනය වූ පසුගිය බ‍්‍රහස්පතින්දා වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා එදින තරගය ඕවර 11.5 කට සීමා විය. ශ්‍රී ලංකා පිලේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ලකුණු 17 කට කඩුලු තුනක් අහිමිකරගෙන සිටියේය. එහිදී සුරංග ලක්මාල් කඩුලු තුනක් දවා ගැනීමෙන් ඉන්දියාව ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් දෙපළ වන රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා මර්දනය කිරීමේ උපක‍්‍රමයක් ක‍්‍රියාත්මක කර ඇති බව පෙනුණි. 
තරගයේ දෙවැනි දිනය වූ සිකුරාදා දසුන් ශානක දවාගත් කඩුලු දෙකත් සමඟ ලකුණු 74කට කඩුලු 5ක් බවට පත්විය.
මෙම තරගයට තණතීරුව වේගපන්දු යවන්නන්ට වාසිදායක ලෙස සකස් කර තිබේ. මෙය ඉන්දීය පිලේ ඉදිරි දකුණු අප‍්‍රිකානු සහ එංගලන්ත සංචාරවලට සකස්වීමේ සැළැස්මක්ද විය හැකිය. ශ්‍රී ලංකා පිලට වේගපන්දු යවන්නන් වන සුරංග ලක්මාල්, ළහිරු ගමගේ සහ දසුන් ශානක ඇතුළත්ව සිටිති. බුවනේෂ්වර් කුමාර්, මොහොමඩ් සාමි සහ උමේෂ් යාදේව් යන වේගපන්දු යවන්නන් තිදෙනා ඉන්දියානු පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරති.

ඊඩ්න් ගාර්ඩ්න් තණතීරුව නැවත සකස් කිරීමෙන් පසුව නිරායාසයෙන්ම වේගපන්දු යවන්නන්ට සහයෝගය දක්වන බව පසුගිය තරග සාක්‍ෂි දරයි. ඒ හේතුවෙන් මෙම තරගය වේගපන්දු යවන්නන්ගේ තරගයක් වීමට ඉඩ ඇති බවට ජාත්‍යන්තර ක‍්‍රිකට් විස්තර විචාරකයෝද අනාවැකි පළ කළහ.

ශ‍්‍රී ලංකා පිල සහ ඉන්දීය ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිල අතර කොල්කටාහිදී පැවැති දෙදින පුහුණු තරගයේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් රැසක් ලකුණු අතරට පැමිණීම කැපී පෙනුණි. එහිදී සදීර සමරවික‍්‍රම ආරම්භක පිතිකරු ලෙස ලකුණු 74 ක් රැස්කරමින් ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු ස්ථානය හිමිකර ගත්තේය.

කෙසේ වෙතත් මෙම තරගයේදී ද අසාර්ථක වූ ළහිරු තිරිමාන්නට ටෙස්ට් පිලේ ස්ථානය වෙන්වී තිබුණි. ඒ හේතුවෙන් රොෂේන් සිල්වාට නැවතත් අවස්ථාව අහිමිවිය. ආබාධයකට ලක්ව සිටි තුන් ඉරියව් ක‍්‍රීඩක අසේල ගුණරත්න පළමු තරගයෙන් පසුව ටෙස්ට් සංචිතයට එකතුවීමට ඉඩ ඇති බවට ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. එය එසේ වුවහොත් කණ්ඩායමට තවත් ශක්තියක් එකතු වේ. 

I සටහන: වරකාගොඩ ගමගේ

ටෙස්ට් ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීම

ස්ථානය     රට    ප‍්‍ර.ල.

1.    ඉන්දියාව           125
2.    දකුණු අප‍්‍රිකාව     111
3.     එංගලන්තය       105
4.    නවසීලන්තය       97
5.    ඕස්ට්‍රේලියාව        97
6.     ශ්‍රී ලංකාව          94
7.    පාකිස්තානය       88
8.    බ.ඉ.කො.          75
9.    බංග්ලාදේශය      72
10.   සිම්බාබ්වේ        0