2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ක්‍රීඩා අමාත්‍යංශය ඉතිරි වූ මුදලින් ජෝගි නටයි

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 203

ශ‍්‍රී ලංකාවේ දුෂ්කර ප‍්‍රදේශවල බොහෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙන්ම පාසල් ක‍්‍රීඩාවට අවශ්‍ය උපකරණ සහ යටිතල පහසුකම් සපුරා ගැනීමට මුදල් නොමැතිව ළතැවෙන බව ප‍්‍රසිද්ධ රහසකි. මෙම තත්ත්වය තුළ වසරකදී ශ්‍රී ලංකාවේ අනාගත සම්පත් රැසක් ක‍්‍රීඩාවට සමුදෙති. ක‍්‍රීඩාවේ වර්තමාන තත්ත්වය එසේ තිබියදී ක‍්‍රීඩා අමාත්‍යංශයට 2017 වසර වෙනුවෙන් ලැබුණු මුදල්වලින් මිලියන ගණනක මුදලක් ඉතිරි වීම නිසා එම මුදලින් දින තුනක ජෝගියක් නැටීමට සැලසුම් කරමින් සිටියි. එසේ නොවුණහොත් එම මුදල් භාණ්ඩාගාරයට යැවීමට සිදුවන බව වාර්තා වේ. 

ක‍්‍රීඩා අමාත්‍යංශය එහි 50 වැනි සංවත්සරයට යැයි පවසමින් ලබන දෙසැම්බර් මස විශේෂ දැවැන්ත ක‍්‍රීඩා උළෙලක් කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ. සංවිධානය කරන්නේ යැයි කියන මෙම ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩා 10ක් ඇතුළත් වන බවත් එය දින තුනක් පැවැත්වෙන බවත් දැනගන්නට තිබේ. 

මෙම ක‍්‍රීඩා උළෙල තවත් සුදු අලියෙක් බව තතු දන්නෝ පවසති. ක‍්‍රීඩා උළෙල එසේ නැත්නම් ක‍්‍රීඩා සමුළු සංවිධානය කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශයේ ඇතැම්හු බොහෝ කැමැත්තක් දක්වති. මෙවැනි ක‍්‍රීඩා උළෙල සංවිධානය කිරීම ඇතැම් නිලධාරීන්ට මැණික් ඉල්ලමකට වඩා සම්පතක් වන්නේ මෙහිදී කිසිදු මහන්සියක් නොමැතිව දැවැන්ත මුදලක් මාටියා ගසා ගැනීමේ හැකියාව ඇති නිසාය.

මෙවැනි ක‍්‍රීඩා තරගාවලිවලට ක‍්‍රීඩාංගණ වෙන්කිරීම, ප‍්‍රවාහන පහසුකම් ලබාදීම, ආහාර ලබාදීම, නවාතැන් පහසුකම් ලබාදීම ආදී මුදල් නිලධාරීන්ගේ සාක්කුවලට ගලායන බොහෝ අවස්ථා තිබේ.

ක‍්‍රීඩා අමාත්‍යංශය රුපියල් කෝටි ගණනක් වැය කරමින් වාර්ෂිකව ජාතික මහා ක‍්‍රීඩා උළෙල සංවිධානය කරයි. මෙම වසරේදී ද මාතර කොටුවිලදී ජාතික මහ ක‍්‍රීඩා උළෙල පැවැත්වීය. ක‍්‍රීඩා අමාත්‍යංශය කොටුවිල පැවැති ජාතික මහා ක‍්‍රීඩා උළෙල භූමියේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් ක‍්‍රීඩා සංගම්වලද සහයෝග ඇතිව ප‍්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණි. එම ක‍්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතුවලදී ද සිදුවූයේ යැයි කියන ඇතැම් ගෙවීම් සම්බන්ධයෙන් ගැටලු තිබූ බව වාර්තා විය. ඒවායේ ගැටලු නොතිබුණේ නම් පමණක් විශ්මයට පත්විය යුතුය.

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මීට දින කීපයකට පෙර රූපවාහිනී සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවසුවේ ටෙන්ඩර් පටිපාටියේ දුර්වලතාවක් හේතුවෙන් තම අමාත්‍යංශයේ ද මුදල් හිරවී ඇති බවයි. ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ එම ප‍්‍රකාශයත් සමඟ විශාල මුදල් ප‍්‍රමාණයක් ඉතිරි වී ඇති බව උපකල්පනය කළ හැකිය.

ක‍්‍රීඩා අමාත්‍යංශයට ඉතිරි මුදල්වලින් මීට වඩා ඵලදායි කාර්යයක් කිරීමේ අවස්ථාව තිබේ. තවමත් එවැනි දෙයකට ප‍්‍රමාද නැත. ඒ සඳහා ඵලදායි යෝජනා ඕනෑතරම් ඉදිරිපත් කිරීමේ හැකියාව අප සතුව තිබේ. මෙවැනි අනවශ්‍ය ක‍්‍රීඩා උළෙලක් පවත්වනවාට වඩා දක්‍ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිටින පාසල් කීපයකට ක‍්‍රීඩා උපකරණ සහ ක‍්‍රීඩාංගණ පහසුකම් ලබාදීමට කටයුතු කළේ නම් අගනේය. එසේ නොවේ නම් ක‍්‍රීඩා අමාත්‍යවරයා පසුගිය වසරේ කර තිබුණාක් මෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පාසල්වලට පසුකම් ලබා දුන්නද එහි වරදක් නැත.

කොමිස් කාක්කන්ට පිල්ලි ගැසීමට ක‍්‍රීඩා උළෙල පවත්වනවාට වඩා දක්‍ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගෙන ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමිය හැකිය. අවශ්‍ය නම් ජනාධිපතිවරයාද ගෙන්වා උත්සවයකදී ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවද තිබේ. 

සටහන: විශේෂ ලියුම්කරුවකු විසිනි