2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

ජාතික ඔලිම්පික් කමිටුවේ බල්ටි ගහන නිලධාරියාට පොල්ලක්

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 05:32 60

ජාතික ඔලිම්පික් කමිටුවේ ප‍්‍රධාන තනතුරක් දරමින් විවිධ අක‍්‍රමිකතාවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ලවී ඇති නිලධාරියකු නැවත එහි තනතුරකට පත්වීමට කරන උත්සහයට එරෙහිව උසස්ම ක‍්‍රීඩා බලධාරියකු පෙරමුණ ගෙන කටයුතු කරන බව වාර්තා වේ. ජාතික ඔලිම්පික් කමිටුවේ තනතුරක් දැරීමට තිබිය යුතු අනිවාර්ය සුදුසුකම වන ජාතික ක‍්‍රීඩා සංගමයක තනතරක් දැරීම යන සුදුසුකම නොමැතිව වසර ගණනාවක් එහි ප‍්‍රධාන තනතුරක් දරණ එම නිලධාරියා මේ වනවිට මං මුලා වී සිටින බව ද දැනගන්නට තිබේ. 

එම නිලධාරියා ආත්ම ආරක්‍ෂක ක‍්‍රීඩාවක ජාතික සංගමයක තනතුරක් ලබාගෙන නැවතත් ඔලිම්පික් කමිටුවට පැමිණීමට පිඹුරුපත් සකස් කරමින් සිටියද එම සංගමයේ තනතුරු අවලංගු කිරීමට පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ. මෙම නිලධාරියා ඒකාධිපතියකු ලෙස කටයුතු කරමින් ක‍්‍රීඩා අමාත්‍යංශයේ නියෝග පවා පිළිනොගන්නා බව දැනගන්නට ඇති අතර ක‍්‍රීඩා නීති සංශෝධනය ඉදිරිපත් කිරීම වෙනුවෙන් කැඳවූ මාධ්‍ය හමුවට ආරාධනා කර තිබුණද එයද මඟ හැරි බවට චෝදනා එල්ල විය. 

එම ආත්ම ආරක්‍ෂක ක‍්‍රීඩාවක ජාතික සංගමය තුළද කාලයක සිට තනතුරු සම්බන්ධයෙන් පාර්ශව දෙකක් අතර දැඩි ව්‍යාකූල තත්ත්වයක් පවතින අතර ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ක‍්‍රීඩා අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා පනතේ ඇතැම් කරුණු පිළිබඳව ජාත්‍යන්තරයට පැමිණිලි කර ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වර්තමාන අවිනිශ්චිත තත්ත්වයට ඇද දැමීමට ජාතික ඔලිම්පික් කමිටුවේ මෙම ප‍්‍රධාන නිලධාරියා පෙරමුණගත් බව ප‍්‍රසිද්ධ රහසකි. 

ජාතික සංගමයක තනතුරක් නොමැති වූ විට ඔලිම්පික් කමිටුවේ තනතුර දැරිය නොහැකි වුවද එහි බොහෝ නිලධාරීහු මේ දක්වා තනතුරුවල කටයුතු කරමින් විවිධ ප‍්‍රශ්න නිර්මාණය කරමින් සිටිති. ඔවුන් එහි තනතුරු උපයෝගි කරගනිමින් විවිධ වරප‍්‍රසාද ලබාගන්නා බවට ද චෝදනා එල්ල වේ. ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය 2009 පසුව එනම් වසර 7 කින් නොපවත්වා එකම කණ්ඩායමක් තනතුරුවල රැඳී සිටීම මෙහි ඇති තවත් කනගාටුදායක තත්ත්වයකි. 

ක‍්‍රීඩා පනතේ නව සංශෝධනවලට අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බව පවසමින් තව දුරටත් එහි නිලවරණය කල්දමමින් සිටින බවටද මේ වනවිට චෝදනා එල්ල වේ. 

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඔලිම්පික් කමිටු නිලවරණය පැවැත්වීමට සූදානම් වුවද ඔලිම්පික් කමිටුව කකුලෙන් අදිමින් සිටියි. මෙම තත්ත්වය පිළිබඳව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ අවධානය ද යොමු වී ඇති බව පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි එහි නියෝජිතයා පවසා තිබේ. 

♦ සටහන: යොහාන්