2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

අයි.සී.සී. රැස්වීමට නුස්කි මොහොමඩ් යැවීම ගේමක්?

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

‍නවසීලන්තයේදී පසුගියදා පැවැති අන්තර්ජාතික ක‍්‍රිකට් සභා (අයි.සී.සී.) රැස්වීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයකු නොවන හිටපු භාණ්ඩාගාරිකවරයකු වන නුස්කි මොහොමඩ් මහතා සහභාගිවීම දැඩි කථාබහට ලක්ව තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය කමිටු සාමාජිකයකු වන නුස්කි මහතා අයි.සී.සී. රැස්වීමට සහභාගි වීම පිළිබඳව දැඩි විවේචන එල්ල වී තිබුණි. එහිදී ප්‍රධානියා නොගොස් අනු කමිටුවක සාමාජිකයකු සහභාගි කරවීම සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් වර්තමාන පරිපාලන පත්වීමෙන් පසුව වසර දෙකකට වැඩි කාලය තුළ අයි.සී.සී. රැස්වීම් වැඩි සංඛ්‍යාවකට සහභාගී වූයේ එහි සභාපති තිලංග සුමතිපාල මහතාය. නුස්කි මහතා මෙම රැස්වීමට සහභාගි කරවීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබාගත්තේද යන්න පිළිබඳවද ප‍්‍රශ්න මතුව තිබේ. විධායක කමිටුවේ බොහෝ දෙනකු පාකිස්තානු සංචාරයට සහභාගි වී සිටීම නිසා එම කාල තුළදී විධායක කමිටු රැස්වීමක් නොපැවැත්වූ බව ද දැනගන්නට තිබේ. විධායක කමිටු සාමාජිකයකු නොවන පුද්ගලයකු මෙවැනි රැස්වීමකට සහභාගි කරවන්නේ නම් විධායක කමිටුවේ අනුමැති අවශ්‍ය බව ක‍්‍රිකට් පරිපාලනය පිළිබඳව දැනුමැත්තෝ පවසති.

මෙවැනි රැස්වීමකට සහභාගි වීමට නම් ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය අනිවාර්ය වුවද එවැනි අවසරයක් ලබාගෙන තිබේද යන්න ගැටලු සහගතය. තවද ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියෙන් සහභාගි වූයේ නම් එම රැස්වීමේ සාකච්ඡා වූ කරුණු පිළිබඳව වාර්තාව අමාත්‍යවරයාට ලබාදීම සාමාන්‍ය තත්ත්වයි. කෙසේ වෙතත් නුස්කි මොහොමඩ් මහතා අයි.සී.සී. රැස්වීමේ සාකච්ඡා කළ කරුණු පිළිබඳව වාර්තාවක් බාරදී නොමැති බවද දැනගන්නට තිබේ. 

ක‍්‍රිකට් ලොක්කෙකුට විධායක කමිටුව තුළ විශ්වාසවන්තයකු නොමැති වීමත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ පරීක්‍ෂණයක් සම්බන්ධයෙන් පවතින කුකුසක් තිබීමත් යන හේතු දෙකක් මත මෙම රැස්වීමට නුස්කි මහතා සහභාගි කර ඇති බව ඇතැම්හු පවසති.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කීපදෙනකු පසුගිය සතියේද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ පුද්ගලයන්ගෙන් එල්ල වූ චෝදනා පැමිණිලි ලෙස අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවටද ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක බවත් වාර්තා වේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ගේ පැමිණීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට හෝ ක‍්‍රීඩා අමාත්‍යංශයටද දැනුම් දී නොතිබුණු බව වාර්තා වේ. 

තවද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නමගිය හිටපු සේවිකාවක් ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකු එරෙහිව පනවා ඇති නඩුවකට අදාළ නිලධාරියා සහභාගි නොමැති බවද දැනගන්නට තිබේ. 

I සටහන: විශේෂ ලියුම්කරුවකු විසිනි.