2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

චමරි අතපත්තුට අතක් බරට සම්මාන

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 177

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය 9 වැනි වරටත් සංවිධානය කළ ‘ඩයලොග් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙලේදී' 2017 ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩිකාව ලෙස සැළකෙන චමරි අතපත්තු සම්මාන පහක් හිමිකර ගැනීම කැපී පෙනුණි.

සම්මාන උළෙල අවසානයේ චමරි සතුව ගෙන යෑමට නොහැකි තරම් සම්මාන තිබීම නිසා සෙසු ක‍්‍රීඩිකාවන්ගේ සහය පැතීමට ද ඇයට සිදුවිය. ගුවන් හමුදා පිලේ නායිකාව ලෙස ඇය ලබාගත් සම්මාන ද සමඟ ඇය සතුව කුසලාන හතක් පමණ තිබුණි.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පසුගිය සඳුදා රාත‍්‍රී පැවැති මෙම සම්මාන උළෙලේ කාන්තා ක‍්‍රිකට් වෙනුවෙන් පිරිනැමූ සෑම සම්මානයකදීම චමරිගේ නම සඳහන් වීම බොහෝ දෙනකුගේ අවධානයට යොමු විය.

ප‍්‍රවේගකාරී පිතිකාරී චමරි අතපත්තු මෙහිදී අන්තර්ජාතික සම්මාන තුනක් සහ දේශීය සම්මාන දෙකක් ඇතුළු සම්මාන පහක් ලැබීම කැපී පෙනුණි. චමරි වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවට අමතරව එක්දින සහ විස්සයි 20 වසරේ දක්‍ෂතම පිතිකාරිය ලෙස ද, දේශීය තරගාවලියේ එක්දින සහ විස්සයි 20 දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩිකාව ලෙස ද, සම්මාන ලැබුවාය.
චමරි මේ වන විට ලෝක කාන්තා ක‍්‍රිකට් පිටියේ ද කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටින්නීය. 27 හැවිරිදි චමරි පසුගිය අගෝස්තු මස යෝක්ෂයර් ඩයමන්ඩ් කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්ත ‘කියා සුපර් ලීග්’ ක‍්‍රිකට් තරගාවලියට ක‍්‍රීඩා කිරීමේ දුර්ලභ අවස්ථාව ද උදාකර ගත්තාය.

මෙම වසරේ ජූනි මස එංගලන්තයේදී පැවැති කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ප‍්‍රබල  ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව නොදැවී ලකුණු 178 ක් රැස්කරමින් චමරි ක‍්‍රිකට් වාර්තා පොතට එකතු වූවාය.

ඇය රුස්කළ එම ලකුණු 178 ලෝක කාන්තා එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ තෙවැනි ඉහළතම ඉනිම ලෙස ද වාර්තා පොතට එකතු විය. මෙම ලකුණු 178 ලෝක කුසලාන තරගාවලියකදී ක‍්‍රීඩිකාවක් ඉනිමකදී රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වේ. 

I භාසුර