2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

මෙහෙමත් පරදින්න පුළුවන්ද?

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 212

ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩාව මීට වසර 30කට පෙර තිබූ තත්ත්වයක් දක්වා පසුපසට ඇද වැටී ඇති බවට ක‍්‍රිකට් ප‍්‍රවීණයෝ පවසති. ශ්‍රී ලංකා එක්දින පිල මෙම වසර තුළ 5x0 ක තරගාවලි පරාජ තුනක් ලැබීමෙන් වැටී ඇති අගාධය පිළිබඳව සිතාගත හැකිය. පාකිස්තානයට එරෙහිව පසුගිය සඳුදා අවසන් වූ එක්දින තරගාවලිය 5x0 කින් පරාජයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා එක්දින පිල ගොඩගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව කථාබහට ලක්ව තිබේ. 

ශ‍්‍රී ලංකා පිල මෙම වසරේ පෙබරවාරි මස දකුණු අප‍්‍රිකාව හමුවේ තරග 5ක් ද, සැප්තැම්බර් මස ඉන්දියාව හමුවේ තරග 5ක් ද, පරාජයට පත්විය. ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ජූලි මස ශ්‍රී ලංකාවේදී සිම්බාබ්වේ හමුවේ තරග 3x2 ක් ලෙස පරාජයට පත්විය. 

ශ්‍රී ලංකාව මෙම වසර තුළ එක්දින තරග 26 කට සහභාගි වී ඇති අතර ඉන් තරග 21 ක් පරාජයට පත්ව ඇති අතර තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ශ්‍රී ලංකා පිල ජයගෙන ඇත්තේ තරග හතරක් පමණි. එංගලන්තයේදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ඉන්දියාව පරාජය කළ තරගය පමණක් මෙහිදී කැපී පෙනේ. 

පාකිස්තානය හමුවේ පසුගිය සඳුදා ශ්‍රී ලංකා පිල ලැබූ පරාජය පිල පිට පිටම ලැබූ 12 වැනි පරාජය වීම මෙහි වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත්ව තිබේ. තරග 12 ක් අඛණ්ඩව පරාජයට පත්වීම බරපතළ තත්ත්වයකි. 

ශ්‍රී ලංකා එක්දින පිල මේ වනවිට බංග්ලාදේශය සහ සිම්බාබ්වේ 90 සහ 2000 දශකවල සිටි තත්ත්වයට ඇද වැටී ඇති බව පෙනේ. බංග්ලාදේශය 1999 වසරේ සිට 2002 වසර දක්වා අඛණ්ඩව තරග 23 ක් පරාජයට පත්ව වැඩිම අඛණ්ඩ පරාජ වාර්තාවට හිමිකම් කියයි. ශ්‍රී ලංකාව 1987 සිට 1988 කාලය තුළ අඛණ්ඩව එක්දින තරග 14 ක් පරාජයට පත්වීම ප‍්‍රබල ටෙස්ට් රටක් වැඩිම අඛණ්ඩ පරාජ ලැබූවන් අතර ඉහළින්ම සිටියි. ඉන් වසර 30කට පසුව ශ්‍රී ලංකාව නැවතත් එවැනිම අඩියකට වැටී සිටීම කණගාටුවට කරුණකි. 

මෙහිදී ශ්‍රී ලංකාව තරග පරාජය වනවා මෙන්ම පිතිකරු සහ පන්දු යැවීමේ යන අංශ දෙකෙන්ම දැඩි අසාර්ථකත්වයට පත්වීම වඩාත් බරපතළ තත්ත්වයකි. ශ්‍රී ලංකා පිලට  ඕවර 50 පන්දුවට පහර දෙමින් ලකුණු 200 ක් රුස්කිරීමද මේ වනවිට විශාල අභියෝගයක් බවට පත්ව තිබේ. 

ශ්‍රී ලංකාවට හුරුපුරුදු ක‍්‍රීඩාංගණයක් වන සාජා ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට රැස්කළ හැකිවූයේ ලකුණු 103 ක් පමණි. එහිදී ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු පහ ලකුණු 20 කදී බිඳ වැටුණි. ශ්‍රී ලංකා පිලේ මෙම කඩා වැටීම වර්තමාන ක‍්‍රිකට් පාලකයන් සහ තේරීම් කමිටු අඩු වැඩි ඇතිව වගකිව යුතුය. 

ශ්‍රී ලංකා පිලේ පසුගිය වසර දෙකක පමණ කාලයක් තුළ කොට්ට මාරු කරන්නාක් මෙන් ක‍්‍රීඩකයන් මාරු කිරීම මෙන්ම පිතිකරුවන්ට ස්ථාවර වීමට අවස්ථාව නොදීම එක්දින පිලේ කඩා වැටීමට වඩාත් බලපෑම් කර තිබේ. වර්තමාන තේරීම් කමිටුව යටතේද එම ක‍්‍රමවේදය තවදුරටත් ඉදිරියට ගෙන යමින් තිබේ. පාකිස්තානයට එරෙහිව පැවැති අවසන් එක්දින තරගයේදීද මෙම ඔලමොට්ටල ක‍්‍රියාව ප‍්‍රදර්ශනය විය. 

නිරෝෂන් දික්වැල්ල පළමු තරග හතරේදීම ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළද අවසන් තරගයේදී අංක පහ දක්වා තල්ලු කර තිබිණි. යොවුන් පිතිකරු සදීර සමරවික්‍රම බිල්ලට දෙමින් ඔහු ආරම්භක පිතිකරු ලෙස යෙදවූ අතර ඔහුගේ ඉනිම පන්දු 3 කට සීමා විය. මෙහිදී අප අමතක නොකළ යුතු තවත් වැදගත් කරුණක් තිබේ. එනම් මෙම තරගාවලිය පරාජයට පත්වීමට පෙර  ලංකා ටෙස්ට් පිල 2x0 කින් පාකිස්තානය පරාජය කළ බවය. එම ජයග්‍රහණයෙන් ප්‍රයෝජනයක් ගැනීමට  ලංකා ක්‍රිකට් පාලකයන්ට ඥානය පහළ වූයේ නැත. 

එම ටෙස්ට් ජයග‍්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ දිමුත් කරුණාරත්න සහ ඩිල්රුවන් පෙරේරා වැනි ක‍්‍රීඩකයන් එක්දින කණ්ඩායමට කැඳවූයේ නම් ළහිරු තිරිමාන්න වැනි ක‍්‍රීඩකයකු ඉලිප්පීමට වඩා රටට ප‍්‍රයෝජනවත් වීමට ඉඩ තිබුණි. 

ශ්‍රී ලංකාව ලබන දෙසැම්බර් මස ඉන්දියාවට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගි වීමට නියමිතය. එම තරගාවලියේදී හෝ නිවැරදි තීරණ නොගතහොත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව 1987 වසරෙන්ද එහාට ගමන් කිරීම වැළැක්විය නොහැක. ක‍්‍රිකට් ක්‍රීඩාව තුළට දේශපාලන ඇඟිලි ගැසීම් ක‍්‍රියාත්මක වනතෙක් ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගොඩගැනීමට නොහැකි වනු ඇත. මහේල සහ සංගක්කාර ඇතුළු කමිටුව හැකි ඉක්මනින් නිවැරදි තීරණ ක‍්‍රියාත්මක නොකළහොත් ශ්‍රී ලංකා එක්දින පිල ඇෆ්ගනිස්තානයටද පරාජය වන දිනයට වැඩි කාලයක් නැත.   

 සටහන: භාසුර